77-year-old-grandfather-remanded-for-abusing-seven-year-old-girl

වයස අවුරුදු හතයි මාස අටක් පමණ වන බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හැත්තෑ හැවිරිදි සැකකරුවෙකු ලබන ජනවාරි මස 08 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්.සමරසිංහ මහත්මිය නියෝග කළාය.





කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව, වවුනියාව පාර ප්‍රදේශයේ පදිංචි පද්මපෙරුම ආරච්චිගේ රංජිත් හෙවත් 'රංජිත් සීයා' නමින් හඳුන්වන හැත්තෑ හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

සැකකරු විසින් සිය බාලවයස්කාර නැගණිය බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව දැනගත් වින්දිත දැරියගේ සොහොයුරා ඇති වූ කෝපය මත සැකකරුට පොල්ලකින් පහර දී ඇති අතර, එම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සැකකරු මේ වන විට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.




අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක සහ සැරයන් (53290) ප්‍රසන්න රංජිත් දිසානායක යන නිලධාරීන් විසින් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

පහරකෑමට ලක්ව රෝහල්ගතව සිටින සැකකරු පරීක්ෂා කර බලා සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ඉමේෂා පටබැඳිගේ මහත්මිය විසින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරියට දැනුම් දී තිබූ අතර, ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගොස් සැකකරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම රිමාන්ඩ් නියෝගය නිකුත් කරන ලදී.



අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගති වාර්තාවක් මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වැඩිදුරටත් නියෝග කළාය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ දැරියගේ පියා, ඇයගේ මවගෙන් වෙන්ව නිවසින් පිටව වෙනම ජීවත් වන අයෙකු වන අතර, අධිකරණය හමුවේ සැකකරු වෙනුවෙන් නීතිඥ චතුර ධනංජය රණතුංග මහතා පෙනී සිටියේය.