12000-kilos-of-spoiled-meat-unfit-for-human-consumption-found-in-floodwaters

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සත්ව ගොවිපොළක ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000ක් ඊයේ (07) දිනයේදී සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වී තිබේ. මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වය සහ විදුලිය ඇණහිටීම හේතුවෙන් මෙම මස් තොගය කල් තබා ගැනීමට නොහැකිව නරක් වී ඇති බව අනාවරණය වී ඇත.



සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය දියත් කර තිබේ.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේ, අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වූ එම මස් තොගය මුද්‍රා තැබීමට පියවර ගත් බවයි.

මුද්‍රා තබන ලද මස් තොගයේ සාම්පල අද (08) දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත. එම පරීක්ෂණවලින් ලැබෙන වාර්තා පදනම් කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.