හාමුදුරුවරු යන්තර මන්තර ගුරුකම් කර ලෞකික ජීවිතය සැපවත් කරන්නට අකැප වැඩ කරන්නේ අද ඊයේ නොවේ.ජ්‍යොතිෂ්‍යය පරණ ශාස්ත්‍රයක් වීමත් එය බොහෝ විට හාමුරුවරුන් නිවැරදිව භාවිත කරන බවටත් පවතින ආකල්පය නිසාම ගුරුකම් කරන සිවුර 'බිස්නස්' සඳහා හොඳ ප්‍රතිරූපයකි. ඇතැම්විට ගුරුකම් කරන්නට සිවුර පොරවගන්නා ගිහියන්ද සිටී.
දිඹුලාගල ප්‍රසිද්ධ ආරණ්‍ය සේනාසනයකි. අපවත්වී වදාළ කිතලගම සීලාලංකාර හිමි එහි ප්‍රතාපවත් බෞද්ධ භික්ෂුවයි. එහිමියන්ගේ හදිසි ඝාතනයෙන් පසු එතැනට ආ අය කරන්නේ 'පෙර ප්‍රතිරූපය' මාකට් කිරීමය. හරියට මෑත මහින්ද වන්දනාව වාගේය. අලුත් නායක හාමුදුරුවරු හා දෙවැනියන් ඒ විදිහේම නම් භාවිත කරන අතර ඒ ආකාරයටම කොණ්ඩය හා රැවුල බාගෙට වවාගෙන අනුකරණවාදීන් වී සිටී. බොහෝ විට සිද්ධවන්නේ බිස්නස්ය.
යූ ටියුබ් නාලිකාවක් හරහා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ විවිධ ආරක්ෂාවන් සිදුකර දෙන බවට ප්‍රචාරය කරමින්, දේශීය මෙන්ම විදේශීය පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දිඹුලාලංකාර නම් භික්ෂූන් වහන්සේ නමක් පෙරේදා (02) දින මනම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම හිමි නම අපේ ගෙදර නම් යූටියුබ් නාලිකාවක් ඔස්සේ මාසිකව යන්තර මන්තර ගැන අදහස් හා අනාවැකි ප්‍රසිද්ධ කරමින් සිටි අතර තමන්ගේ නම දුරකථන අංකය විශාල ෆොන්ට් සයිස් එකකින් ප්‍රදර්ශනය කරමින් කාන්තා නිවේදිකාවක් සිය අසුන අස්සේ තබාගනිමින් මෙම මිත්‍යා විශ්වාස ප්‍රචාරය යහමින් කරගෙන ගියේය.මේවාට හසුවන අයගේ බුද්ධිය ගැන වෙනම සොයා බැලිය යුත්තකි.
තංගල්ල, මුවන්පැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අවස්ථා දෙකකදී සිදුකළ පැමිණිලිවලට අදාළව, මනම්පිටිය පොලිසියේ නිලධාරීන් එම පැමිණිලිකරු ද සමඟ අදාළ භික්ෂුව හමුවීම සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත ගොස් තිබිණි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම සැකකාර භික්ෂුව විසින් පැමිණිලිකරුට පහරදීමක් සිදුකර ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
පොලිසිය ඉදිරිපිටදී පැමිණිලිකරුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අදාළ භික්ෂුව, එම අවස්ථාවේ බීමත්ව සිටි බවටද තොරතුරු වාර්තා වන අතර, සැකකරු ඊයේ (03) දින පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න මහතා සඳහන් කළේය.
මූලික පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම භික්ෂුව දීර්ඝ කාලයක් තිස්සේ සිය යූ ටියුබ් නාලිකාව භාවිත කරමින්, රැකවරණය, නිවාස ආරක්ෂාව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මෙන්ම රෝග සුවකර දෙන බවට පොරොන්දු වී දේශීය හා විදේශීය පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් සිය බැංකු ගිණුම් වෙත බැර කරගෙන ඇති බවට හෙළිදරව් වී තිබේ. මීට පෙරද මෙලෙස වංචාවට ලක්වූ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙම භික්ෂුව සොයා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණි අවස්ථාවලදී ඔහු එම ස්ථානයෙන් සැඟව ගොස් ඇති බවද දැනගන්නට ඇත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රකාශ කළේ, අදාළ භික්ෂුව සම්බන්ධයෙන් දිවයිනේ නන් දෙසින් තමන් වහන්සේ වෙත දිනපතා දෝෂාරෝපණ සහ පැමිණිලි රැසක් දුරකථනය ඔස්සේ ලැබෙන බවයි. මේ වන විටත් තමන් වහන්සේ අදාළ පොලිස් ස්ථාන මෙන්ම නිකායේ මහානායක ස්වාමීන් වහන්සේද මේ පිළිබඳව දැනුවත් කර ඇති බව උන්වහන්සේ සඳහන් කළහ. තවද, ආරණ්‍ය සේනාසනයේ සහ තමන් වහන්සේගේ නම අවභාවිත කරමින් මෙම භික්ෂුව විසින් සිදුකරන ජාවාරමට නොරැවටෙන ලෙස නාහිමියෝ ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගේ අධීක්ෂණය යටතේ, මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
හාමුදුරුවන් පෙනී සිටි ගුරුකම් වීඩියෝවක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval