
ජපානයේ අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දෙන බවට පොරොන්දු දෙමින්, තමන් යටතේ ජපන් භාෂාව හැදෑරූ සිසුන් විසිහතර දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් වංචා කළ ගුරුවරයෙකුට ඊයේ (3) දින වසර 36ක සිර දඬුවමක් නියම කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
හොරණ, පානදුර පාරේ පදිංචිකරුවෙකු වන හේවාගමගේ තුසිත විරාජිත් නමැති ජපන් භාෂා ගුරුවරයාට මෙලෙස දඬුවම් නියම විය. මෙම සිර දඬුවමට අමතරව,වංචාවට ලක් වූ පාර්ශවයන්ට රුපියල් ලක්ෂ 24ක වන්දි මුදලක් ගෙවීමට ද නියෝග කෙරුණු අතර, එම වන්දි මුදල් නොගෙවන්නේ නම් ඒ සඳහා මාස හය බැගින් වූ තවත් සිර දඬුවමක් ද නියම කෙරිණි.
විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මුදල් වංචා කිරීම යන චෝදනා යටතේ මෙම ගුරුවරයාට එරෙහිව නඩු පවරා තිබුණි. වසර දෙකක පමණ කාලයක් පුරා මෙම දීර්ඝ නඩු විභාගය පැවති අතර, එහිදී අධිකරණයේ කරුණු හෙළි වූයේ සැකකරු විසින් ශිෂ්‍යාධාර ලබා දීමේ මුවාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන් රවටා ඇති බවය.
කුරුණෑගල, රද්දොළුගම, වත්තල, ජාඇල, කළුතර, මාලඹේ, බෙලිඅත්ත, අගලවත්ත, නෑඹඩ, බුලත්සිංහල, කහවත්ත, වැල්ලවාය, දෙහිඅත්තකණ්ඩිය සහ තංගල්ල වැනි ප්‍රදේශවල සිසුන්ගෙන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂය, ලක්ෂ තුන, ලක්ෂ තුනහමාර සහ ලක්ෂ හතර වැනි විවිධ මුදල් ප්‍රමාණයන් ඔහු විසින් ලබාගෙන තිබේ.
මෙම නඩු විභාගයේදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉසාරා රුද්‍රිගු මහත්මිය පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පොලිස් පරීක්ෂක තරංග වික්‍රමාරච්චි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval