three-flights-diverted-due-to-fog-in-katunayake

 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා තුනක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇති බව වාර්තා වේ.






අද (නොවැම්බර් 19) උදෑසන පැවති තද මීදුම් තත්ත්වය හේතුවෙන් මෙම ගුවන් යානා මෙලෙස හරවා යැවීමට සිදුව තිබෙන බව සඳහන්ය.

චීනයේ ගුවැන්ෂු නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-881 දරන ගුවන් යානය මෙන්ම සෞදි අරාබියේ රියාද් නගරයේ සිට පැමිණි UL 266 දරන ගුවන් යානයද මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබුණි.

ඊට අමතරව, සෞදි අරාබියේ දමාම් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේම UL 254 දරන ගුවන් යානය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට හරවා යවා ඇත.

කෙසේ වෙතත්, උදෑසන ගුවන් මෙහෙයුම්වලට බාධා කළ මීදුම තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.