emergency-situation-after-cobra-found-in-speakers-office

ඊයේ (නොවැම්බර් 18) පෙරවරුවේ කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලය තුළ නාගයෙකු සිටිනු දැකීම හේතුවෙන් සුළු වේලාවකට කලබලකාරී තත්ත්වයක් ඇති විය.



කථානායකවරයා නිරතුරුවම ආහාර ගන්නා මේසය අසල ජනේලයකින් මෙම සර්පයා කාර්යාලය තුළට ඇතුළු වීමට තැත් කරමින් සිටින අවස්ථාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නෙත ගැටී ඇත.

මෙම අනතුරුදායක තත්ත්වය වාර්තා වීමත් සමඟම පාර්ලිමේන්තුවේ උද්‍යාන නඩත්තු අංශයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම නාගයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.




දියවන්නා ඔය අවට පිහිටා තිබීම හේතුවෙන් විවිධ වර්ගයේ සර්පයන් කලක පටන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම නිතර සිදුවන සිදුවීමකි. උද්‍යාන නඩත්තු අංශයේ වාර්තාවලට අනුව, මෑත කාලය තුළ පමණක් මෙලෙස නාගයන් ඇතුළු විවිධ උරග විශේෂ විසි දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ආරක්ෂිතව ඉවත් කර ඇත.

මෙම සර්පයන් වැඩි වශයෙන් හමු වී ඇත්තේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති මල් පෝච්චි සහ මල් පඳුරු ආශ්‍රිතව පිහිටි අඳුරු සහිත ස්ථානවල රැඳී සිටින විට බව වාර්තා වේ. කථානායක කාර්යාලයෙන් හමු වූ නාගයා ද ආරක්ෂිතව ඉවත් කළ බවට පාර්ලිමේන්තු පොලිස් නිලධාරියෙකු විසින් ද තහවුරු කරන ලදී.

පාර්ලිමේන්තු පරිශ්‍රයට සර්පයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණද, සර්පයන්ගේ පැමිණීම තවදුරටත් සිදුවන බව ද අදාළ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.