කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් සහ ආපනශාලාවක් මතට ඊයේ (22) උදෑසන කාලයේදී විශාල ගල් පර්වතයක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනපේක්ෂිත නායයෑම හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ අතර, තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගැනුණි.
මෙම ව්‍යසනය මැද සුන්බුන්වලට යටවී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි කාන්තාවක් දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වී පැය 06කට පමණ පසුව ඇයව නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවිය.
එදින උදෑසන කාර්යබහුලව සිටි ඇය, තේ පානයෙන් අනතුරුව වෙනදා මෙන් නාන කාමරයට නොයාම තම දිවි ගැලවීමට ප්‍රධාන හේතුවක් වූ බව විශ්වාස කරයි. එසේම යම් අවශ්‍යතාවක් සඳහා තමා ඇමතූ අයෙකු දෙස බැලීමේදී ගසක් තමන් දෙසට කඩා වැටෙනු දැක, අන් අයටද දුවන ලෙස කෑගසා පලා යාමට උත්සාහ කළද ක්ෂණිකව ඇය සුන්බුන් අතර සිරවී තිබේ.
සුන්බුන් අතර සිරවී සිටියදී තමන්ට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකි වූ බවත්, තම දරුවා සහ සැමියා සිහිපත් කරමින් සිත දැඩි කරගත් බවත් ඇය පවසයි. වාසනාවකට මෙන් ගෑස් සිලින්ඩරයක් මත කොන්ක්‍රීට් තට්ටුවක් රැඳී තිබීම නිසා ඇයට සිර නොවී සිටීමට කුඩා ඉඩක් නිර්මාණය වී තිබුණි. බාහිරින් ඇසුණු කතාබහ අනුව බැකෝ යන්ත්‍ර යොදාගෙන පඩිපෙළ ඇතුළු සුන්බුන් කැඩීමට යාමේදී, ඒවා තමන් මතට වැටී අනතුරක් වේ යැයි ඇය දැඩි බියට පත්ව සිට ඇත.
කෙසේ වෙතත්, පසුව බැකෝ යන්ත්‍රයේ බූම් කොටස යොදා ගනිමින් කොන්ක්‍රීට් තට්ටුව එසවීමට තීරණය කිරීමත් සමඟ ඇයට යම් සහනයක් දැනී තිබේ. එම අවස්ථාවේදී සුන්බුන් අතරින් පිටත සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකු දැක "බුදු මල්ලී මම ඇතුළේ" යැයි ඇය කෑගසා ඇති අතර, එම නිලධාරියා ඇයව සනසමින් බේරා ගන්නා බවට පොරොන්දු වී ඇත. අනතුරුව විදුලි පන්දම් ආලෝකයෙන් ඇය සිටින ස්ථානය තහවුරු කර ගැනීමෙන් පසු, ඇය ලබාදුන් සංඥා ඔස්සේ ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් ඇයව නිරුපද්‍රිතව පිටතට ගැනීමට කටයුතු කර තිබේ.
ඇය සිද්ධිය විස්තර කළේ මෙසේය.
"අපිට උදේ වරුව ටිකක් කාර්යබහුල වුණා. අංකල් සාමාන්‍යයෙන් මට කියනවා, දුව තේ එකක් හදන්නකෝ අපිට බොන්න කියලා. මම තේ එක හදලා ඉවර වෙලා කිව්වා, අංකල් ලින්ටන් අයියා තේ එක හැදුවා බොමු කියලා..
තේ එක බීලා මම වෙනදා වොෂ් රූම් එකට යනවා. ඒත් මම ඊයේ වොෂ් රූම් එකට ගියේ නැහැ. ඒක මගේ වාසනාව. වොෂ් රූම් ගියා නම් මම අද ජීවතුන් අතර නැහැ. ටික වෙලාවක් යද්දි ඒ අයියා ඇවිල්ලා මොකක් හරි ඉල්ලුවා මගෙන්. හරි අයියේ දෙන්නම් කියලා මං උඩ බැලුවා. බලද්දී මට තේරුණා ගහක් මේ පැත්තට එනවා වගේ. ඊට පස්සේ මං එතනින් කෑ ගහගෙන දුවගෙන ආවා, අංකල් ගහක් එනවා දුවමු.. දුවමු.. කියලා. දුවන්න හම්බුණේ නැහැ, මම හිර වෙලා හිටියේ."
"මං හිරවෙලා ඉන්න අතරතුරේ, මට හිතාගන්න බැහැ දැන් මට මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මං හිත තද කරගෙන මගේ දරුවයි මහත්තයාවයි මතක් කරගත්තා. මේ දෙන්නගේ වාසනාවක් තියෙනවා නම් මං බේරෙනවා කියලා. ටික වෙලාවක් යද්දි මට එළියෙන් සද්ද ඇහෙනවා. එක්කෙනෙක් මට කියනවා ඇහුණා නංගි ඇතුළේ.. නංගි ඇතුළේ.. කියලා. ඊට පස්සේ පිටින් ඇවිල්ලා කියනවා කට්ටිය බැකෝ දාලා මේ පැත්තෙන් කඩමු, පඩි පේළිය කඩමු එහෙම කියලා. ඒවත් මට හොඳට ඇහෙනවා. මං කතා කරන එක එළියට ඇහෙන්නේ නැහැ. මං අන්තිමේදී ඇස් දෙක පියාගත්තා...ගල පෙරළුන අයුරු AI පාවිච්චි කරමින් නිර්මාණය කර තිබෙන ග්‍රැෆික් වීඩියෝව අන්තර්ජාලය පුරා ප්‍රචලිතව තිබේ. මේ සමග පළවන්නේ එයයි. බලන්න මෙතනින් click here
ගෑස් සිලින්ඩරයක් උඩ තමා කොන්ක්‍රිට් තට්ටුව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මට ඉඩ පරතරයක් ආවා. බැකෝ දාලා කඩමු කියද්දී මට හිත ටිකක් අවුල් ගියා.. මොකද එහෙම කරොත් කෑලි ඇඟටනේ වැටෙන්නේ. ඊට පස්සෙ කිව්වා බූම් එක දාලා කොන්ක්‍රිට් එක උස්සමු කියලා. එතකොට මගේ හිත ටිකක් හරි ගියා. එක මල්ලි කෙනෙක් පෙනුණා කවුද දන්නේ නැහැ.. ආමි එකේද පොලිසියෙද කියලා.. මම "බුදු මල්ලී.. මං ඇතුලේ ඉන්නවා" කිව්වා. එතකොට එයා කිව්වා "අනේ මගේ අක්කේ.. ඔයා බය වෙන්න එපා අපි ඔයාව ගන්නවා" කියලා. ඊට පස්සේ මං අත දාලා මං ඉන්න තැන සංඥා කළා එයාට. ඊට පස්සේ එයා ටෝච් එකක් ගහලා බැලුවා. ඊට පස්සේ එයාල මාව ඇදලා අර ගත්තා."

Comments
Post a Comment
Your comment will be visible after approval