ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සිය දෙවන අයවැය ලේඛනය, 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන මැයෙන් ජනතාවට ලබා දුන් ප්‍රතිපත්ති පොරොන්දු සමඟ සසඳා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. හොරණ පැවති සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ,
වත්මන් රජය මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දු පත්‍රිකාව සහ ඉදිරිපත් කළ අයවැය යෝජනා අතර කිසිදු ගැලපීමක් නොමැති බවයි.සිනාසෙමින් සහ විවිධ ඉරියව් පාමින් අයවැය ඉදිරිපත් කළද, එය හුදෙක් ජනතාව මුලා කර බලය තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ අසත්‍ය තොරතුරු අඩංගු 'බොරු මල්ලක්' පමණක් බව හෙතෙම චෝදනා කළේය. රජය අනුගමනය කරන්නේ බොරුව සමාජගත කිරීමේ ගොබෙල්ස් න්‍යාය බවත්,
ඒ හරහා අඛණ්ඩව රාජ්‍ය බලය ලබා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම රටේ ජනගහනයෙන් 40%ත් 50%ත් අතර ප්‍රතිශතයක පවතින දරිද්‍රතාවයට නිසි විසඳුම් ලබා දීම සඳහා මෙම අයවැය තුළ කිසිදු දර්ශනයක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය. වර්තමාන ජන ජීවිතයේ තත්ත්වය 2022 වසරට පෙර තිබූ තත්ත්වයට තබා 2019 වසරේ පැවති මට්ටමට හෝ ළඟා වී නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ජන හමුවට පෙර විපක්ෂ නායකවරයා හොරණ බටුවිට ජයසේකරාරාමය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, නීතීඥ අජිත් පී. පෙරේරා, ජගත් විතාන, චරිත් අබේසිංහ, පී. ඩී. අබේරත්න සහ කිත්සිරි කහටපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval