
පොලිස් අපරාධ විමර්ශන මගහරිමින් අධිකරණයෙන් සහ පොලිසියෙන් සැඟවී සිටින සැකකරුවන් සඳහා 'අපේක්ෂිත ඇප' සංකල්පය භාවිත කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව රජයේ නීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා ඊයේ (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අවධාරණය කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ විමර්ශනවලට සහාය නොදී සැඟවී සිටින පුද්ගලයන්, විවිධ සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් නීති ක්‍රියාවලිය අවභාවිත කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කළ යුතු බවයි.රුපියල් කෝටි 900 කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මීගමුව නේෂන් ලංකා සහ සිංහ කැපිටල් ඉන්වෙස්මන්ට් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන ලලිත් ඇලබඩ ලියනගේ නමැති සැකකරු ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතකට විරෝධය පළ කරමින් රජයේ නීතිඥවරයා මෙම කරුණු දැක්වීම සිදු කළේය. සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ අධිකරණයට භාර වීමෙන් පසු ඇප ලබා දීම අධිකරණයේ අභිමතය පරිදි සිදු කළ හැකි වුවත්, ඊට පෙර සැඟවී සිටිමින් අපේක්ෂිත ඇප ලබා ගැනීමට ඉඩ නොදිය යුතු බව ඔහු තවදුරටත් කියා සිටියේය.
මෙම ඇප අයදුම්පත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාලිත ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා ද මෙම මූල්‍ය ආයතනයේ රුපියල් මිලියන 50ක් ආයෝජනය කර වින්දිතයකු බවට පත්ව ඇති අයෙකු බවයි. ඉහළ පොලියක් අපේක්ෂාවෙන් මුදල් ආයෝජනය කළ ද ඔහුට පොලිය හෝ මුදල නොලැබුණු බවත්,
2024 වසරේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පවා ඔහු සහභාගී වී නොමැති බවත් නීතිඥවරයා පැවසීය. තම සේවාදායකයා විමර්ශන මගහරින පුද්ගලයෙකු නොවන බවත් ඕනෑම අවස්ථාවක පොලිසියට සහාය දීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා හෙළි කළේ පොලිස් කණ්ඩායම් සැකකරුගේ රත්නපුර සහ කොළඹ පිහිටි නිවාස පරීක්ෂා කළ ද ඔහු හමු නොවූ බවත්, දුරකථන පවා විසන්ධි කර ඔහු සැඟවී සිටින බවත්ය. සැකකරු නුදුරු දිනකදී විදෙස්ගත වීමේ සූදානමක් ඇති බවත්, ඒ සඳහා අධිකරණ අවසරය ලබා ගැනීමේ අරමුණින් මෙම ඇප අයදුම්පත ඉදිරිපත් කර ඇති බවටත් රජයේ නීතිඥවරයා චෝදනා කළේය. මෙම නඩුවේ අනෙක් සැකකරුවන්ට ඇප ලැබුණේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව බව ද ඔහු සිහිපත් කළේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. ඒ අනුව සැකකරුට අපේක්ෂිත ඇප ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval