thambugala-admits-to-not-paying-vat

2019 වසරේ තුන්වන කාර්තුවට අදාළව එකතු කළ අගය මත බදු වාර්තා (VAT) නිසි පරිදි ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විරංජිත් තාඹුගල මහතාට රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මහාරාච්චි මහතා ඊයේ (25) නියෝග කළේය. 

මෙම පැමිණිල්ල ඊයේ දිනයේදී අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විරංජිත් තාඹුගල මහතා අධිකරණයේ පෙනී සිටි අතර, ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ චෝදනාවට තම සේවාදායකයා වරද පිළිගන්නා බවයි.




මෙහිදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ, තාඹුගල මහතා විදේශයන්හි සිට උපයා ගත් කෝටි හතක පමණ මුදලක් සඳහා මෙරටදී බදු මුදල් ගෙවා ඇති බවත්, එම මුදල් විවිධ දේශපාලනඥයින් විසින් අවභාවිත කිරීමට උත්සාහ දරා ඇති බවත්ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා මෙම නඩුවේදී අධිකරණයට කරුණු දැක්වූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරු අදාළ චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස දඩ මුදල් නියම කිරීමට පියවර ගත්තේය.