the-two-chinese-who-stole-mahinda-theros-money-from-the-plane-were-caught-while-fleeing-after-disembarking-in-katunayake

 අබුඩාබි නුවර සිට පැමිණි ගුවන් යානයක් තුළ දී භික්ෂූන් වහන්සේ නමකට අයත් රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් පමණ වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් සොරකම් කළ බව කියන චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන තිබේ. 

පේරාදෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන ගුරු වෘත්තියේ නියුතු දීගල්ලේ මහින්ද හිමියන් ඊයේ උදෑසන 10.05 ට පමණ අබුඩාබි සිට එටිහාඩ් ගුවන් සේවයට අයත් ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණි අවස්ථාවේ දී මෙම සිදුවීමට මුහුණ පා ඇත.

ගුවන් යානය කටුනායක බලා පියාසර කරමින් තිබියදී උන්වහන්සේ ශරීර කෘත්‍ය සඳහා වැසිකිළිය වෙත ගොස් ඇති අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ගුවන් යානයේ සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු භික්ෂූන් වහන්සේගේ ආසනය අසල රාක්කයේ තිබූ ගමන් මල්ල පරීක්ෂා කර තිබේ.


එම අවස්ථාවේදී උන්වහන්සේ නැවත ආසනය වෙත පැමිණීමත් සමඟ සැකකරුවන් එතැනින් ඉවත්ව ගොස් ඇති නමුත්, ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීමක් එකල සිදු කර නොමැත.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව නිශ්කාශන කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීමට ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී එහි තිබූ යූරෝ 250 ක්, ස්ටර්ලින් පවුම් 100 ක්, ඇමෙරිකානු ඩොලර් 250 ක් සහ මැලේසියානු රිංගිට් 3,850 ක මුදලක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී ඇත. වහා ක්‍රියාත්මක වූ හිමියන් මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පොලීසියට පැමිණිලි කර ඇති අතර, පොලීසිය සහ හිමියන් එක්ව ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර තිබේ.

එහිදී අදාළ චීන ජාතිකයන් දෙදෙනා ගුවන් තොටුපොළෙන් පිටවී ත්‍රිරෝද රථයකින් පලා යන අයුරු නිරීක්ෂණය වී ඇති අතර, ගුවන් තොටුපොළ ත්‍රිරෝද රථ සංගම්වල සහාය ඇතිව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් ලුහුබැඳ ගොස් සොරාගත් විදේශීය මුදල් තොගය ද සමඟ ඔවුන් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 සහ 58 යන වයස්වල පසුවන චෙන් මින් මින් සහ චෙන් ක්‍රියු නමැති පුද්ගලයන් බව හඳුනාගෙන ඇති අතර, සොරාගත් මුදල් රැගෙන අද (26) දින කොළඹ කැසිනෝ ශාලාවක ක්‍රීඩා කිරීම සඳහා ඔවුන් සැලසුම් කර තිබූ බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරුවන් අද දින කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

‍තායිලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානයක ගමන් කළ මගියෙකුගේ අත්බෑගයෙන් දේශීය හා විදේශීය මුදල් සොරාගත් චීන ජාතිකයින් දෙදෙනෙකුද පසුගිය 2025 අප්‍රේල් මාසයේ අත්අඩංගුවට පත්ව තිබුනි.
ඩුබායිහිදී පැවැත්වූ වෛද්‍යවරුන්ගේ සමුළුවකට සහභාගී වීම සඳහා කොල්ලුපිටියේ පිහිටි ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් ගමන් කරමින් සිටි වෛද්‍යවරුන් තිදෙනෙකු සහ බැංකු නිලධාරියකු ඇතුළු පස්දෙනෙකුගේ අත් බෑග්වල තිබූ රුපියල් ලක්ෂ 50කට ආසන්න විදේශ මුදල් සොරකම් කරන ලද සිද්ධියක් ඊට පෙර 2025 මාර්තු මාසයේ වාර්තාවී තිබුණි.