sony-censors-chandanas-life-for-a-million

 ස්වර්ණවාහිනී නාලිකාව මගින් අලුතින් ආරම්භ කිරීමට සැලසුම් කළ “ජීවිතයට කෝටියක්” නම් වැඩසටහන සම්බන්ධයෙන් සෝනි (Sony) ජාත්‍යන්තර ආයතනය විසින් නිල වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. චන්දන සූරියබණ්ඩාර මාධ්‍යවේදියාගේ ඉදිරිපත් කිරීමක් ලෙස ස්වර්ණවාහිනිය විසින් හඳුන්වා දෙන්නට ගිය මෙම නවතම වැඩසටහන මගින් තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වන බවට චෝදනා කරමින් සෝනි සමාගම අදාළ නාලිකාව වෙත මෙම ලිඛිත දැනුම්දීම සිදු කර ඇත.



පසුගිය 18 වැනිදා ස්වර්ණවාහිනිය විසින් මෙම නව වැඩසටහන පිළිබඳ ප්‍රසිද්ධියේ නිවේදනය කර තිබෙන අතර ර‍ටපුරා පෝස්ටර ව්‍යාපාරයක්ද දියත් විය. මේ සමඟ මෙම නීතිමය අර්බුදය පැන නැගී ඇති අතර, සෝනි සමාගම පෙන්වා දෙන්නේ මෙය තමන්ගේ වැඩසටහනේ බලපත්‍ර ලාභී නාලිකාව වන සිරස නාලිකාවේ විකාශය වූ ජනප්‍රිය “ලක්ෂපති” වැඩසටහනේ ආකෘතිය සෘජුවම අනුකරණය කිරීමක් බවයි. ජාත්‍යන්තර සෝනි සමාගමට අයත් “Who Wants to Be a Millionaire” රියැලිටි වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නිල විකාශන අයිතිය පවතින ආකෘතියට සමාන අයුරින්, නිසි අවසරයකින් තොරව මෙම නව වැඩසටහන නිර්මාණය කර ඇති බවට ඔවුහු චෝදනා කරති.



මෙම වැඩසටහන බ්‍රිතාන්‍යය මූලිකව ඇරඹි අතර පසුව ඇමරිකාව, ඉන්දියාව,ඕස්ට්‍රෙලියාව,රුසියාව,පිලිපීනය, ඉතාලිය,නේපාලය, කොස්ටාරිකාව, වියට්නාමය හා ප්‍රංශය ඇතුළු රටවල් රැසක එකම ආකෘතියකින් ඉදිරිපත් කරන්නකි.

මීට පෙර සිරස නාලිකාවේ “ලක්ෂපති” වැඩසටහන මෙහෙයවූ ප්‍රවීණ නිවේදක චන්දන සූරියබණ්ඩාර සහ සිරස නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් ඇතුළු එම වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම මේ වන විට ස්වර්ණවාහිනිය සමඟ සම්බන්ධ වී සේවය කිරීම මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ. මොවුන් තමන් සතු පූර්ව අත්දැකීම් භාවිත කරමින්, ජාත්‍යන්තර බලපත්‍රයකින් හෝ අවසරයකින් තොරව සෝනි සමාගමට හිමි විශේෂිත වැඩසටහන් ආකෘතියක් ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධයෙන් එම සමාගම දැඩි අප්‍රසාදය සහ කෝපය පළ කර ඇත.

මේ අනුව අදාළ නාලිකාවේ කළමනාකාරීත්වය වෙත “Cease and Desist” හෙවත් කටයුත්තක් අත්හිටුවීමේ ලිපියක් යොමු කරමින් සෝනි ඉන්ටර්නැෂනල් සමාගම දන්වා සිටින්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩසටහනේ සියලු නිෂ්පාදන සහ විකාශන කටයුතු නතර කරන ලෙසයි.


මෙම නියෝගය නොසලකා හැර කටයුතු කළහොත් පූර්ව දැනුම්දීමකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් සිදුවන හානි වෙනුවෙන් විශාල වන්දියක් ඉල්ලා සිටින බවත් එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

චන්දන සූරිය බණ්ඩාර පවුලේ ඡායාරූප එකතුවක් මෙතැනින් click herre