minister-nalindas-explanation-about-namals-law-degree

 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයෙන් ලබා ගත් බව කියන නීති උපාධිය සහ ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බවට වෙබ් අඩවි රැසක් තොරතුරු වාර්තා කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙරට ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන නිර්මලා කන්නන්ගර මහත්මිය විසින් මෙම ආන්දෝලනාත්මක තොරතුරු මුලින්ම හෙළිදරව් කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයේ සිටි යුනිවර්සිටි (City University) ආයතනයෙන් ලබාගත් බව කියන සහතිකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් සඳහා ලියාපදිංචි වීමට ඉදිරිපත් කර ඇති බවත්, එම සහතිකය නිකුත් කර ඇත්තේ 2009 වසරේ සැප්තැම්බර් 15 වන දින බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, අදාළ සහතිකයට අත්සන් තබා ඇති උපකුලපතිවරයා එම වසරේ ජූලි මස 23 වැනිදා ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, ඔහු ඉල්ලා අස්වී දින 54 කට පසුව මෙම උපාධි සහතිකයට අත්සන් තැබීම බරපතල සැකයට තුඩු දෙන කරුණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.




ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමේදී සාමාන්‍ය නීති ප්‍රවේශ විභාගයට පෙනී නොසිට ඊට අවසර ලබා දෙන්නේ ලෝකයේ පිළිගත් නීති උපාධි ප්‍රදානය කරන ආයතනයකින් උපාධියක් හිමි කරගත් අයෙකුට පමණක් බව මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහෙත් සිටි යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් (City University of London) ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් නිල වශයෙන් පිළිගෙන ලියාපදිංචි කර ඇත්තේ 2009 ඔක්තෝබර් 15 වන දින බව නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය.

මෙහි පවතින විමතිය දනවන කරුණ වන්නේ, අදාළ විශ්වවිද්‍යාලය නීති විද්‍යාලය විසින් පිළිගැනීමට පෙර, එනම් 2009 සැප්තැම්බර් 25 වන දින නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා අයදුම් කර තිබීම සහ එදිනම නීති විද්‍යාලය විසින් එම අයදුම්පත භාරගෙන තිබීම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නීති විද්‍යාලය විසින් අදාළ විශ්වවිද්‍යාලය පිළිගනු ලැබුවේ ඔක්තෝබර් 15 වන දින වුවද, ඊට පෙර දිනයකදී අයදුම්පත් භාරගැනීම නීති විද්‍යාලය පිළි නොගත් ආයතනයක සහතිකයක් මත සිදු වූවක් බව මෙහිදී අවධාරණය කෙරිණි.




තවද නාමල් රාජපක්ෂ මහතා සතුව ඇතැයි පවසන සහතිකයේ දැක්වෙන්නේ "බැචිලර් ඔෆ් ලෝයර්ස් විත් ඔනර්ස් ක්ලාස් 3" (Bachelor of Laws with Honours Class 3) වර්ගයේ උපාධියක් බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. සාමාන්‍යයෙන් තුන්වන පන්තියේ සාමාර්ථ සහිත උපාධියක් ලබාගෙන එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලවලට ඇතුළත් විය නොහැකි බවත්, මේ හේතුවෙන් ඔහුගේ උපාධියේ වලංගුභාවය පිළිබඳව අදාළ මාධ්‍ය වාර්තා මගින් සැක මතු කර ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම සියලු තොරතුරු ඇතුළත් ලිපි ලේඛන සභාගත කළ අමාත්‍යවරයා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කිරීමක් සිදු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.