
බාල වයස්කාර පිරිමි දරුවෙකු පැහැරගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ, දැනට සේවය තහනම් කර සිටින 33 හැවිරිදි යුද හමුදා සෙබළෙකුට වසර පහළොවක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් මහතා නොවැම්බර් 14 වැනිදා තීන්දු කළේය.
මෙම අපරාධය සිදුව ඇත්තේ 2021 අප්‍රේල් 11 වැනි දින වන අතර, එදින ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි දස හැවිරිදි පමණ වයසැති මෙම දරුවා, සැකකරු විසින් අසල පිහිටි පෙර පාසල් ගොඩනැගිල්ලක් වෙත රැගෙන ගොස් තිබේ. එහි තිබූ සෙල්ලම් ගෙදර කුටිය තුළදී විත්තිකරු විසින් දරුවා බරපතළ ලිංගික අතවරයකට ලක්කර ඇති බවට අධිකරණයේදී කරුණු හෙළි විය. සිදුවීමෙන් පසු දරුවා ඒ පිළිබඳව සිය මව දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
පැමිණිල්ල ලැබීමත් සමග වහාම ක්‍රියාත්මක වූ එවකට බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් දිසානායක මහතා සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගත් අතර, අතවරයට පත් දරුවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කෙරිණි.
අත්අඩංගුවට පත්වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර, පසුව ඇප මත මුදා හැර සිටි විත්තිකරුට එරෙහිව දීර්ඝ නඩු විභාගයක් මොනරාගල මහාධිකරණයේ පැවැත්විණි. නීත්‍යානුකූල භාරකාරත්වයෙන් දරුවෙකු පැහැරගෙන යාම සහ බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම යන චෝදනා යටතේ විත්තිකරු වරදකරු බවට තීරණය විය.
ඒ අනුව, පළමු චෝදනාව සඳහා රුපියල් පනස් දහසක දඩ මුදලක් සමග වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද, දෙවන චෝදනාව සඳහා රුපියල් පනස් දහසක දඩයක් සමග වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද විනිසුරුවරයා විසින් නියම කරන ලදී. නියමිත දඩ මුදල් නොගෙවන්නේ නම්, එක් එක් චෝදනාවට අදාළව වසරක් බැගින් අමතර සිර දඬුවම්ද නියම කෙරිණි. මීට අමතරව, වින්දිත දරුවාට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙසත්, එම වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවමක්ද විත්තිකරුට නියම විය. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ සවින්තනී ප්‍රනාන්දු මෙනවිය පෙනී සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval