smoking-is-banned-in-the-maldives-for-those-born-after-2007

2007 වසරේ ජනවාරි මස 1 වන දින හෝ එදිනින් පසුව උපන් පුද්ගලයින් සඳහා දුම්කොළ භාවිතය තහනම් කරමින් මාලදිවයින නව නීතියක් ක්‍රියාත්මක කර ඇත. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මෙවැනි පරම්පරාගත දුම්කොළ තහනමක් ක්‍රියාත්මක කරන ලොව එකම රට බවට මාලදිවයින පත්ව ඇති බවයි. මෙම නව නීති සම්පාදනය නොවැම්බර් 1 වන සෙනසුරාදා සිට බලාත්මක විය.



මෙම නව විධිවිධාන යටතේ, නියමිත වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින්ට මාලදිවයින තුළ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම,


භාවිත කිරීම හෝ ඔවුන් වෙත අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. මෙම තහනම සියලුම දුම්කොළ වර්ග සඳහා වලංගු වන අතර, ඕනෑම අලෙවියකට පෙර වයස තහවුරු කිරීම විකුණුම්කරුවන්ට අනිවාර්ය කර තිබේ.

මෙම පියවර මේ වසර මුලදී ජනාධිපති මොහොමඩ් මුයිස්සු මහතා විසින් ආරම්භ කරන ලද්දකි. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙහි අරමුණ "මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ දුම්කොළවලින් තොර පරපුරක් ප්‍රවර්ධනය කිරීම" බවයි. ජනාධිපති ආර්යා සාජිධා මොහොමඩ් මහත්මිය 'X' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මෙය "ඇබ්බැහි වීමේ විෂම චක්‍රය බිඳ දැමීමට ගත් ඓතිහාසික, ධෛර්ය සම්පන්න සහ විද්‍යාත්මකව පදනම් වූ පියවරක්" ලෙස හැඳින්වීය.

මීට අමතරව, ඉලෙක්ට්‍රොනික සිගරට් සහ වාෂ්පීකරණ (vaping) උපාංග ආනයනය, විකිණීම, බෙදා හැරීම, ළඟ තබා ගැනීම සහ භාවිතය සඳහා ද පුළුල් තහනමක් මාලදිවයින පවත්වාගෙන යයි.


මෙම 'vape' තහනම වයස් භේදයකින් තොරව සියලුම පුද්ගලයින් සඳහා එකසේ ක්‍රියාත්මක වේ.

මෙම නීති කඩකරමින් තහනමට ලක්වූ වයස් කාණ්ඩයේ අයෙකුට දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළෙන්දෙකුට රුෆියා 50,000 ක (ආසන්න වශයෙන් ඩොලර් 3,200) දඩයක් නියම කෙරේ. තහනම් කර ඇති 'vape' උපාංග භාවිත කරන පුද්ගලයෙකුට රුෆියා 5,000 ක (ඩොලර් 320) දඩයක් පැනවෙනු ඇත.

සමකය හරහා කිලෝමීටර් 800 ක් පුරා විසිරී ඇති කුඩා කොරල් දූපත් 1,191 කින් සමන්විත සහ සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රසිද්ධ මෙම දූපත් රාජ්‍යයට පැමිණෙන සංචාරකයින් සඳහා ද මෙම සියලු තහනම් එකසේ අදාළ වන බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර ඇත.

මීට පෙර නවසීලන්තය මෙවැනි පරම්පරාගත දුම්පාන තහනමක් හඳුන්වා දුන් පළමු රට වුවද, එම නීතිය හඳුන්වා දී වසරක් ගතවීමටත් මත්තෙන් 2023 වසරේ නොවැම්බර් මාසයේදී එය අහෝසි කරන ලදී. එක්සත් රාජධානිය තුළ ද මෙවැනිම තහනමක් තවමත් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ පවතී.