
එක්සත් රාජධානියේ, කේම්බ්‍රිජ්ෂයර් හි හන්ටිංඩන් දුම්රිය ස්ථානයේදී කිසිදු හේතුවක් නැතිව මගීන්ට පිහියෙන් ඇනීම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් 1 , සෙනසුරාදා සවස ලන්ඩන් නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලීසිය (British Transport Police) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම ප්‍රහාරයෙන් දස දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් නව දෙනෙකුගේ තත්ත්වය ජීවිතයට තර්ජනයක් වන මට්ටමේ පවතින බව පොලීසිය තහවුරු කර තිබේ. සෙනසුරාදා රාත්‍රී 7:39 ට පමණ මෙම පිහි ඇනුම් පිළිබඳව වාර්තා ලැබීමත් සමඟ මහා පරිමාණ හදිසි ප්‍රතිචාර මෙහෙයුමක් දියත් කෙරිණි.
අදාළ ස්ථානය "ප්‍රධාන සිදුවීමක්" (major incident) ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, සන්නද්ධ පොලිස් නිලධාරීන්, ගුවන් ගිලන් රථ ඇතුළු විශාල වෛද්‍ය කණ්ඩායම් සහ නිලධාරීන් 30 කට අධික පිරිසක් හන්ටිංඩන් දුම්රිය ස්ථානය වෙත වහාම බලමුලු ගන්වා ඇත. ත්‍රස්ත මර්දන පොලිස් ඒකකය ද මෙම පරීක්ෂණයට සහය දක්වන අතර, හන්ටිංඩන් දුම්රිය පොළේදීම මෙම ප්‍රහාරය මැඩපැවැත්වීමට හැකිවූ බව පොලීසිය පවසයි.
මෙම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ පීටර්බරෝ නගරයෙන් පිටත්ව ගිය, ඩොන්කාස්ටර් සිට ලන්ඩන් කිංග්ස් ක්‍රොස් දක්වා ධාවනය වූ සවස 6.25 දුම්රියයි. හදිසි සේවා ක්‍රියාත්මක වීම හේතුවෙන් සියලුම දුම්රිය මාර්ග අවහිර වූ බව ලන්ඩන් නෝර්ත් ඊස්ටර්න් රේල්වේ (LNER) සමාගම නිවේදනය කළ අතර, නැගෙනහිර වෙරළ ප්‍රධාන මාර්ගයේ (East Coast Main Line) ප්‍රධාන බාධා කිරීම් වාර්තා විය.
දුම්රිය වේදිකාව මත විශාල පිහියක් අතැති පුද්ගලයෙකු දුටු බවත්, පොලීසිය විසින් ඔහුව ටේසර් තුවක්කුවකින් විද පාලනය කරනු තමන් දුටු බවත් ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍ය වෙත පවසා තිබේ. අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් මෙම සිදුවීම "කම්පන සහගත" එකක් ලෙස හඳුන්වා ඇත. ප්‍රහාරය සඳහා මෙතෙක් කිසිදු චේතනාවක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය උපුටා දක්වමින් තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval