showing-grass-discussion-between-rohini-and-kaushalya-about-itn-tv-which-slandered-savindya

 රජයට අයත් රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ලේක්හවුස් ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන පසුගිය දින කිහිපය තුළ මාධ්‍ය සදාචාරයෙන් බැහැරව කටයුතු කර ඇති බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට දැඩි චෝදනාවක් එල්ල කළාය.



වර්ෂ 2015 න් පසුව රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් විපක්ෂයට මඩ ගැසීමේ සංස්කෘතිය නතර කර තිබුණ ද, පසුගිය දින කිහිපය තුළ ලේක් හවුස් සහ රූපවාහිනී නාලිකා කටයුතු කර ඇත්තේ තණකොළ පෙන්වමින් හරක් මඩුවක තත්ත්වයට පත්වෙමින් බවත්, එම ආයතන ඉතාමත් පහළ මට්ටමකට වැටී ඇති බව තමන් නිරීක්ෂණය කළ බවත් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

කවිරත්න මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමින් පිළිතුරු ලබා දුන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය සඳහන් කළේ, එලෙස සදාචාර විරෝධී ලෙස හැසිරෙන වීඩියෝ පට ඇත්නම් තමා වෙත පෞද්ගලිකව යොමු කරන ලෙසයි.


වත්මන් රජය යටතේ පවත්වාගෙන යනු ලබන්නේ එවැනි ආකාරයේ රාජ්‍ය මාධ්‍ය භාවිතයක් නොවන බව ඇය වගකීමෙන් යුතුව අවධාරණය කළාය.

ගුණාත්මක මහජන සේවාවක් ලෙස මාධ්‍ය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ ආදර්ශයක් සැපයීම රාජ්‍ය මාධ්‍යයේ අරමුණ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරිය, රාජ්‍ය මාධ්‍ය ආයතන මුහුණ දී ඇති මූල්‍ය අභියෝග පිළිබඳව ද කරුණු පැහැදිලි කළාය. පෙර පැවති රජයන් යටතේ කුසලතා නොමැති පිරිස්වලට රැකියා ලබා දීමේ ස්ථාන ලෙස මෙම ආයතන භාවිත කිරීම හේතුවෙන් ඒවා පාඩු ලබන තත්ත්වයට පත් වූ බව ඇය සඳහන් කළාය.

මූල්‍යමය වශයෙන් ආයතනය ශක්තිමත් නොකර නිර්මාණශීලී කණ්ඩායමක් බඳවා ගැනීමට නොහැකි වීමත්, නිර්මාණශීලී කණ්ඩායමක් නොමැතිව ආයතනය මූල්‍යමය වශයෙන් ගොඩනැගීමට නොහැකි වීමත් යන අභියෝගයට තමන් මුහුණ දී සිටින බව කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය වැඩිදුරටත් කියා සිටියාය.

කෙසේවෙතත් රාජ්‍ය මාධ්‍යයට අමතරව සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක මඩ ප්‍රචාරක කණ්ඩායම් පිළිබඳව ද රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය ආණ්ඩුවට දෝෂාරෝපණය කළාය. පසුගිය වසර පුරා 'වීරප්පන්ගේ මඩ බලකාය' නමින් හඳුන්වන කණ්ඩායමක් විසින් විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඇය පෙන්වා දුන්නාය.




නුගේගොඩ පැවති රැස්වීමට සහභාගී වූ සාවින්ද්‍යා එදිරිමාන්න වැනි දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන තරුණියන්ට පවා ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මෙම කණ්ඩායම් අපහාස කරන බවත්, රටේ ජනතාව සහ තරුණයන් වීදි බැස අරගල කළේ මෙවැනි වෙනසක් බලාපොරොත්තුවෙන් දැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කළාය. පසුගිය වසර ඇතුළත ආණ්ඩුව විසින් වෙනත් යමක් සිදු නොකළ ද 'ජාතික කුණුහරුප බලකායක්' නිර්මාණය කර ඇති බවට ඇය චෝදනා කළාය.

මීට අමතරව ජාතික රූපවාහිනියේ සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ භාරකාර අරමුදල (ETF) සඳහා අවශ්‍ය මුදල් මේ වන විට ගෙවා නොමැති බවට ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඉලක්ක කරමින් රෝහිණි කවිරත්න මහත්මිය අදහස් පළ කළ අතර, අර්ථ සාධක අරමුදල් නොගෙවූ සමාගම්වලට එරෙහිව සේවකයන් විසින් ගොනු කර ඇති නඩු සංඛ්‍යාව 20,000 කට අධික බව ද ඇය පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය.