හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) උදෑසන ඉන්දියාවේ සුප්‍රසිද්ධ මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. ජීවන් තොණ්ඩමාන් මහතාගේ විවාහ උත්සවයකට සහභාගී වීම සඳහා ශිවගංගා දිස්ත්‍රික්කයේ තිරුපත්තූර් වෙත යාමට නියමිතව සිටින හිටපු ජනාධිපතිවරයා, ඊට ප්‍රථම ගුවන් මගින් මදුරෙයි වෙත පැමිණ සිය බිරිඳ සමග මෙම පූජා කටයුතු සඳහා එක්ව තිබේ.
සිය බිරිඳ සමඟ කෝවිල වෙත පැමිණි වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කෝවිල් පරිපාලනය විසින් විශේෂ පිළිගැනීමක් සහ ගෞරව දැක්වීමක් සිදු කරන ලදැයි ඒඑන්අයි පුවත් සේවය වාර්තා කර තිබේ. මීනාක්ෂි අම්මාන් සහ සුන්දරේස්වරාර් සන්නිධියන්හි විනාඩි 30කට අධික කාලයක් පූජා කටයුතුවල නිරත වූ ඔහු අනතුරුව කෝවිල් පරිශ්‍රයේ ඡායාරූප කිහිපයක් ද ලබා ගත්තේය. හිටපු ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම හේතුවෙන් මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිල් පරිශ්‍රය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණු අතර, පොලිස් නිලධාරීන් විසින් එතුමා ආරක්ෂිතව කෝවිල තුළට සහ ඉන් පිටතට කැඳවාගෙන යනු දක්නට ලැබිණි.
වන්දනා කටයුතු නිමවා පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් කච්චතිව් දූපත සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් වැළකී සිටි වික්‍රමසිංහ මහතා වහාම මෝටර් රථයට නැග එම ස්ථානයෙන් පිටව ගිය බවද ඒඑන්අයි පුවත් සේවය වාර්තා කර තිබේ. මදුරෙයි සංචාරයෙන් අනතුරුව කාරෛකුඩි බලා පිටත්ව යන රනිල් තිරුපත්තූර්හි පැවැත්වෙන තොණ්ඩමාන් මහතාගේ නිවසේ උත්සවයට සහභාගී වීමට නියමිත අතර එහිදී තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවනු ඇතැයි ද වාර්තා වේ.