sajith-terminates-party-membership-of-wasantha-who-brought-in-drugs-worth-rs-400-crore

 දකුණු මුහුදු තීරයේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ සිද්ධියට අදාළව පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සැලවීමත් සමඟ ක්‍රියාත්මක වූ පක්ෂ නායකත්වය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.






මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා X පණිවිඩයක් මඟින් සඳහන් කර ඇත්තේ අදාළ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පක්ෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කරන බවයි. සමාජයට පිළිකාවක් බඳු මත්ද්‍රව්‍ය ජාවාරමට තමන් දැඩිව විරුද්ධ වන බවත්, මෙවැනි නීති විරෝධී සහ නින්දිත ක්‍රියාවන්හි නිරත වන්නන්ට එරෙහිව ඉහළම දඬුවම් ලබා දීම උදෙසා නීති ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි තමන් තරයේ විශ්වාස කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සඳලංකාව කොට්ඨාසය සඳහා තරග වැදුණු වසන්ත ජයකොඩි නම් මෙම අපේක්ෂකයා විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීම සඳහා මුදල් ආයෝජනය කර ඇති බවයි. ආරක්ෂක අංශ වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව දකුණු මුහුදේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි විය.




මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් 200ක් පමණ සහ හෙරොයින් පාර්සල් 100ක් පමණ තිබී ඇත. මීට අමතරව යාත්‍රාව තුළ තිබී භාවිතයට නොගත් නවීන පන්නයේ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් ද සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි 400ක් පමණ වන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

මීගමුව ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති බවට සැක කෙරෙන මෙම යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට පත් ධීවරයින් හයදෙනා තංගල්ල, දෙවිනුවර සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. ඊයේ පස්වරුවේ අදාළ යාත්‍රාව සහ සැකකරුවන් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇති අතර, නාවික හමුදාපතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ද එම ස්ථානයට ගොස් කරුණු විමසා බලා ඇත.

gossiplanka image 1


gossiplanka image 2