gossiplanka image 1
​ජනපති අනුරකුමාර දිසානායක මහතා අද 930) ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේ සම්පූර්ණ ලිඛිත සටහන පහතින්ස්වාමීන් වහන්ස,

පූජකතුමනි,

දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි,

අපි රටක් හැටියට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මකම ස්වභාවික ව්‍යසනයට බව අප දන්නවා. ඒ වගේම අප දියත් කොට ඇත්තේ මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම බවත් අප දන්නවා. මේ ඉතිහාසය විසින් එකවර මුළු රටම ව්‍යසනයට ලක් කළ පළමු අත්දැකීම මෙයයි.

රටම සතර දික් භාගයෙන් ජලයෙන් යට වුණු සහ ආපදාවට ලක් වූ තත්ත්වයක් තුළ, මේ අතිශය දුෂ්කර ව්‍යායාමය අප ජය ගත යුතුව තිබෙනවා. මේ අකාරුණික ස්වභාවික ව්‍යසනයට අපේ කුඩා දූපතම සසල කළ හැකි වුණත්, මේ දූපතේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සහ අධිෂ්ඨානශීලීත්වය කිසි ලෙසකින්වත් සසල කළ නොහැකි බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා. මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව අපි ඒකාන්තව විශ්වාස කරනවා.

දයාබර දෙමව්පියනි, සහෝදර සහෝදරියනි,

මේ ව්‍යසනයෙන් මිය ගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දිය හැකි නම්, ඕනෑම කොන්දේසියකට යටත්ව එය ඉටු කිරීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ. නමුත් අප යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතුයි. අහිමි වූවන් පිළිබඳ වේදනාව සදාකාලිකව අප අතර පවතිනවා. මිය ගිය කිසිවෙකු අපට හුදු අංකයක් නොවෙයි. සෑම ජීවිතයක් සමගම නමක්, මුහුණක් සහ කතාවක් තිබෙනවා.

මිය ගිය සියලු දෙනාගේ පවුල් වෙත අපි හදවතින්ම අපගේ සාතිශය සංවේගය පිරිනමනවා. හුදු සංවේගයකට පමණක් සීමා නොවී, එම පවුල්වලට නැවත ඒ ජීවිත ලබා දිය නොහැකි වුණත්, කළ හැකි සියල්ල ලබා දීම වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ මොහොතේ අතුරුදහන්ව සිටින සියලු දෙනා නිරුපද්‍රිතව සිටීවාය කියන ප්‍රාර්ථනය අප තුළ තිබෙනවා.

ජීවිත ව්‍යසනයට ලක්ව ඇති බොහෝ දෙනෙකුගේ දුක් වේදනා සමනය කිරීමට හා බලපෑමට ලක් වූවන්ට දිරියක් වීමට ඉදිරියට පැමිණි සියලු දෙනාගේ දෑත් අපි උණුසුම්ව වැළඳ ගන්නවා. ස්වභාවික විපත් සහ ආපදා ඇති වීමත්, ඒවා පාලනය කිරීමට නොහැකි වූ විට ඇතිවන විපත් සහ අදිසි ආපදා නිසි අයුරු කළමනාකරණය කිරීමත්, රට නැවත යථා තත්ත්වයට හෝ පෙරට වඩා දියුණු තත්ත්වයකට ගොඩනැගීමත් යන ත්‍රිවිධ ක්‍රියාවලියෙහි වගකීම ආණ්ඩුව සතු වෙනවා.

ඒ වෙනුවෙන් ගත හැකි සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග, මොනතරම් දුෂ්කර තත්ත්වයක් යටතේ වුවත් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දීමේදී පහසුකම් සහ මෙවලම් සීමාවක් ඇති රටක, අප සතු අයෝමය මානව සම්පත අනෙක් සියල්ලටම වඩා වටිනා බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා. විපතකදී හැර නොයන, හැම විටම පිහිට වන, ආත්ම විශ්වාසයෙන් පිරුණු අපේ රටේ පුරවැසියන් පිළිබඳව අප ආඩම්බර වෙනවා.




අපට ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන්නේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහ නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බව අප සිහිපත් කළ යුතුව තිබෙනවා. විනාශයේ තරම ගැන කෙරෙන අනුමාන තක්සේරුව එතරම්ම බරපතලයි. එහෙත් අපේ රටේ ජනතාව ගංවතුරෙන්, කුණාටුවෙන් හෝ ඕනෑම ව්‍යසනයකින් පසුව අධිෂ්ඨානශීලීව නැවත නැගී සිට තිබෙනවා.

මෙම ව්‍යසනය ආරම්භයේදී අපගේ පළමු කාර්යය බවට පත් වුණේ ව්‍යසනයට මුහුණ දුන් පුරවැසියන් එයින් මුදවා ගැනීමයි. ඒ සඳහා අපේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඉතාමත් කාර්යක්ෂමතාවයෙන් යුතුව මෙහෙයවීම සඳහා අපි කටයුතු කර තිබෙනවා. එහිදී අපගේ ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් තමන්ගේ ජීවිත අවදානම නොතකමින්, ඇතැම් තැන්වල තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින්, අපගේ ජනතාව මුදවා ගැනීම සඳහා වීරෝධාර ක්‍රියාදාමයක නිරත වුණා. ඔවුන් ගැන අපි ආඩම්බර වෙනවා. ඔවුන්ට අපි ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුයි.

ඒ වගේම අපේ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සිට පහළ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන්තුමා දක්වා සියලු රාජ්‍ය යාන්ත්‍රණය, යුහුසුළුව මැදිහත් වෙමින් එම ආපදාවට ලක් වූ ජනතාව මුදවා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. එය ඔවුන්ගේ රාජකාරියෙන් ඔබ්බට ගිය මානුෂීය කාර්යයක් ලෙස තේරුම් ගනිමින්, ඒ කාර්යයට හෘදයාංගම බැඳීමකින් යුතුව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරනු ලැබුවා. ඔවුන්ට අපි ස්තුතිවන්ත විය යුතුයි.

එමෙන්ම ව්‍යසනයට පත් වූ ජනතාව මුදා ගැනීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් මැදිහත් වී තිබෙනවා. තමන් ව්‍යසනයට පත් නොවුණත්, තමන්ගේ අසල්වැසියන් ව්‍යසනයට පත් වීම, තමන්ගේ අසල්වැසි ගමේ කෙනා ව්‍යසනයට පත් වීම, තමන්ගෙන් එහා පැත්තේ දිස්ත්‍රික්කයේ කෙනා ව්‍යසනයට පත් වීම තමන්ගේම ව්‍යසනයක් ලෙස සලකා, අපේ රටේ පුරවැසියන් එම ව්‍යසනයට පත් වූ ජනතාව මුදවා ගැනීම සඳහා විශාල මානුෂික කාර්යභාරයක් ඉටු කළා සහ ඉටු කරමින් තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන්ව අපි මේ වෙලාවේදී සිහිපත් කළ යුතුයි.

ඒ වගේම මේ මුදා ගැනීමේ ක්‍රියාදාමයේදී අපේ අසල්වැසි රටවල් සහ අපගේ මිතුරු රටවල් අපිට විශාල ලෙස උපකාර සපයා තිබෙනවා. දැනටමත් හෙලිකොප්ටර් යානා ලබා දෙමින්, සමහර ගලවා ගැනීමේ කණ්ඩායම් ලබා දෙමින් විදේශීය රාජ්‍යයන් අප වෙත ඔවුන්ගේ මිතුරු භාවයේ හස්තය දිගු කොට තිබෙනවා. අපි ඔවුන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ ජනතාව වෙනුවෙන්.

මේ මුදා ගැනීමේ කාර්යභාරයේදී දැන් අප සැලකිය යුතු කොටසක් ඉටු කොට අවසන් කර තිබෙනවා. විශේෂයෙන්ම එම මුදවාගත් ජනතාව ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනක් ලෙස මේ වන විට ජීවත් වෙනවා. පළමු කණ්ඩායම වන්නේ තමන්ගේ නිවස තුළම හෝ ආසන්නයේම අවතැන් භාවයට පත් වූවන්. දෙවැනි කණ්ඩායම වන්නේ තමන්ගේ මිතුරන් හෝ ඥාතීන්ගේ නිවෙස් තුළ අවතැන් භාවයට පත් වූවන්. තුන්වැනි කණ්ඩායම වන්නේ අවතැන් මධ්‍යස්ථානවල ජීවත් වන පිරිසයි.

අපේ රටේ තිබුණු සමහර චක්‍රලේඛ මෙම ප්‍රජාවන් තුනටම සහන සැලසීම සඳහා බාධාවන් ඇති කොට තිබුණා. අපි ඒ සියලු චක්‍රලේඛ වෙනස් කොට, අවතැන් වී සිටින්නේ කොතැනද, ඉන්නේ කොතැනද කියන භේදයකින් තොරව, හැම දෙනාටම රජයේ සහන ලබා දීම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙල සකස් කොට තිබෙනවා.

ඒ වගේම අපේ සමහර චක්‍රලේඛ, අපේ නිලධාරීන්ට අවශ්‍ය පරිදි මුදල් පරිහරණය කිරීම සඳහා බාධාවක් ඇති කොට තිබුණා. එම චක්‍රලේඛ අපි වෙනස් කොට තිබෙනවා. එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500 දක්වා මුදලක් වියදම් කිරීම සඳහා අවස්ථාව අපි ලබා දී තිබෙනවා. මුදල් ප්‍රතිපාදන ලබා දීමත්, එම ප්‍රතිපාදන කාර්යක්ෂමව ක්‍රියාවට නැගීම සඳහාත් අවශ්‍ය වෙන නීතිමය රැකවරණයන් අපි අපේ රාජ්‍ය නිලධාරීන්ට ලබා දී තිබෙනවා.

ඒ වගේම ඔබ දන්නවා, අපි පසුගිය අයවැය ලේඛනයෙන් සම්මත කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 3000කට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අපිට වියදම් කිරීමේ හැකියාව තිබෙන එම සියලු ප්‍රතිපාදන අප මේ සඳහා වෙන් කොට තිබෙනවා. අපි දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා; ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් අවශ්‍යද? කොපමණ කාර්යයන් කිරීම සඳහා ඔබට වැය බරක් දරන්න සිදුවී තිබෙනවාද? ඒ සියල්ල ලබා දෙන්න අපි අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා තිබෙනවා.

2025 අයවැය ලේඛනයේ වෙන් කොට තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම්, පරිපූරක ඇස්තමේන්තු හරහා පාර්ලිමේන්තුව මගින් නව ප්‍රතිපාදන ලබා දීම සඳහාත් අපි කටයුතු කරනවා. ඒ හරහා අපගේ අවතැන් වූ ජනතාවගේ ආහාර පාන, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කටයුතු ඉටු කරගත හැකි වේවි කියන විශ්වාසය අපිට තිබෙනවා.




ඊළඟට අපේ පියවර වන්නේ, විශේෂයෙන්ම මේ ආපදා තත්ත්වය හේතු කොටගෙන බිඳ වැටී ඇති අත්‍යවශ්‍ය සේවාවන් සහ යටිතල පහසුකම් යළි ස්ථාපනය කිරීමයි. බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටී තිබුණා. ඒ වගේම ජල පහසුකම්, සන්නිවේදන පහසුකම්, මාර්ග පද්ධති ආදී යටිතල පහසුකම් සහ සේවාවන් විශාල ප්‍රමාණයක් බිඳ වැටී තිබෙනවා. අප ඒ සෑම ක්ෂේත්‍රයක්ම වේගවත්ව සහ කාර්යක්ෂමව යළි ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන මෙහෙයුම් කාර්යයන් ගොඩනගා තිබෙනවා.

ආපදාවට ලක් නොවූ ප්‍රදේශ තිබෙනවා නම්, ඒ ප්‍රදේශවල කාර්ය මණ්ඩලයන් මුළුමනින්ම අපි මෙම ආපදාවට පත් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා යොදවා තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ සහ ආයතනවල වෙනත් කාර්යභාරයන් තිබුණා නම්, ඒ වෙනත් කාර්යභාරයන් සියල්ල පසෙකලා, මෙය ප්‍රමුඛතම කාර්යභාරය කොට සලකා මෙම යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා අපි දැනටමත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ප්‍රවාහන මණ්ඩලය, ඒ වගේම සන්නිවේදන ආයතන සහ මාර්ග සංවර්ධන අධිකාරිය ආදී අත්‍යවශ්‍ය ආයතනත් එක්ක අපි සමීපව කටයුතු කරමින් ඒ සඳහා අවශ්‍ය වන දායකත්වය සහ මෙහෙයවීම අපි ලබා දෙමින් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේ යටිතල පහසුකම් සහ සේවාවන් මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව අපට තිබෙන බව.

අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රමුඛතාවය වන්නේ මේ ව්‍යසනයට ලක් වූ රට කෙටිකාලීනව, මධ්‍යකාලීනව සහ දීර්ඝකාලීනව ගොඩනැගීමයි. මිල කළ නොහැකි ජීවිත අපිට අහිමි වුණා, තවමත් ගණනය කළ නොහැකි භෞතික සම්පත් අපිට අහිමි වුණා. මාර්ග සහ පාලම්වල සිට පාසල් සහ ජල පද්ධති දක්වා, ආපදා කලාපයේ පොදු යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමේ දැවැන්ත මෙහෙයුමක් කළ යුතුව තිබෙනවා.

සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස ඔසවන්නට පොරබදමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි. කුඩා ස්වයං රැකියාවේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වාත්, සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වාත්, මේ සියලු ක්ෂේත්‍ර තමන්ගේ ආදායම් අහිමි වීම් සහ තමන්ගේ කර්මාන්ත කඩා වැටීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාව, පශු සම්පත් ක්ෂේත්‍රයේ ගොවි ජනතාව ආදී ක්ෂේත්‍ර විශාල බිඳ වැටීමකට ලක් වී තිබෙනවා.

ඒ නිසා අපිට වේගවත් සැලැස්මක් අවශ්‍යයි, මෙම ක්ෂේත්‍ර ඉතා වේගයෙන් නගා සිටුවන්නට. ඒ වෙනුවෙන් මේ වන විට අපි කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහාත්, මේ ආපදා තත්ත්වය කළමනාකරණය කරගනිමින්, වේගවත්, කාර්යක්ෂම යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාවය වෙනුවෙන් අප හදිසි නීතිය පනවලා තිබෙනවා.

මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමතියි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණයට ලක් කර ගැනීම සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කරගන්නවා හැරෙන්නට, වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් මෙම හදිසි නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ. මෙම හදිසි නීතියට අනුකූල වන පරිදි මේ වන විටත් අපි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කර තිබෙනවා. සියලු සේවාවන් අප එක් තැනකට කේන්ද්‍රගත කොට තිබෙනවා. පැය 24 පුරාම අත්‍යවශ්‍ය සේවා කාර්යාල විවෘත කොට තිබෙනවා. සියලු වැදගත් ආයතනවල නිලධාරීන් පැය 24 පුරාම එහි රැඳෙමින් සිටිනවා. ඒ නිසා ඉතාමත් කාර්යක්ෂම මධ්‍යගත මෙහෙයුමක් මෙම අත්‍යවශ්‍ය සේවා කාර්යාලය හරහා සිදු කර ගැනීම සඳහා අපි සැලැස්මක් සකස් කොට තිබෙනවා.

ඒ වගේම අපගේ මීළඟ කාර්යභාරය බවට පත්වී තිබෙන්නේ නැවත අපේ රට තිබුණු තත්ත්වයට වඩා දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කර ගැනීමේ අපේක්ෂාවයි. ඒ අපේක්ෂාව වෙනුවෙන් මේ වන විටත් අපි නැවත ගොඩනැංවීම සඳහා අවශ්‍ය වෙන අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා අරමුදලක් පිහිටුවීමට අපේක්ෂා කරමින් තිබෙනවා. ඒ වගේම ඒ අරමුදල කළමනාකරණය කර ගැනීම සඳහා පෞද්ගලික අංශයේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ, මුදල් අමාත්‍යංශයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කළමනාකරණ කමිටුවක් පත් කොට තිබෙනවා.

ඔවුන්ට විශාල කාර්යභාරයක් අප පවරා දී තිබෙනවා; එනම් අපේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන අරමුදල් සම්පාදනය කර ගැනීමයි. ආකාර ගණනාවකින් අපිට අරමුදල් සම්පාදනය කර ගත හැකියි. අප හා මිතුරු රාජ්‍යයන් සමග ඉතාමත් සමීපව අප කටයුතු කරමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම, ඒ වගේම විවිධ ජාත්‍යන්තර සංවිධාන ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම, ඊට අමතරව දේශීය ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම ආදිය ඊට ඇතුළත්.

විශේෂයෙන්ම මේ වෙලාවේදී ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියන් මේ ආධාර ලබා දීම සඳහා විශාල වෙහෙසක් සහ විශාල කැමැත්තකින් යුතුව කටයුතු කරමින් තිබෙනවා. අපි ඔවුන්ට අවශ්‍ය වෙන සහය ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා මෙම ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා අපි ශක්තිමත් අරමුදලක් ගොඩනැගිය යුතුයි කියලා අපි හිතනවා. ඒ අරමුදල සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන කටයුතු අපි සකස් කරලා තිබෙනවා.

ඒ වගේම අප සියලු ආයතනයන් වෙත දැනුම් දී තිබෙනවා, ඔබ මුහුණ දී ඇති හානියේ ප්‍රමාණය සහ එය නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන පිළිබඳව ශක්තිමත් ලැයිස්තුවක් සකස් කරන්න කියලා. අපි දන්නවා බොහෝ විට අපේ රට මුහුණ දෙන තත්ත්වය තමයි නිවැරදි දත්ත සහ නිවැරදි තොරතුරු නොමැති වීමේ ප්‍රතිවිපාකවලට අපට මුහුණ දීමට සිදුවීම. මෙම අර්බුදයෙන් ගොඩ එන්න නම් අපට නිවැරදි දත්ත සහ තොරතුරු අවශ්‍යයි.



වාරිමාර්ග දෙපාර්තමේන්තුවට තමන්ගේ දෙපාර්තමේන්තුවට අයත් වාරිමාර්ග පද්ධතියට වී ඇති හානිය සහ ඒ නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන අරමුදල් ගැනත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්තයට අත් වී තිබෙන විනාශය සහ එය නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය ගැනත් සොයා බැලිය යුතුයි. මේ ආදී හැම ක්ෂේත්‍රයකටම අපි දැනුම් දී තිබෙනවා, ඔබගේ ක්ෂේත්‍රය යළි ගොඩනැංවීමේ වැඩපිළිවෙලත්, ඒ වගේම එම වැඩපිළිවෙල ක්‍රියාවට නගා ගැනීමට අවශ්‍ය වන ප්‍රතිපාදනත් අපිට ඉතා ඉක්මනින් දැනුම් දෙන්න කියලා. ඒ අනුව අපිට ඉතා වේගවත් සංවර්ධන සැලැස්මක් හරහා අපේ රට යළි ගොඩනැගිය හැකිව තිබෙනවා.

රටක් ලෙස දීර්ඝ කාලීන ඉලක්ක ජය ගැනීමටත්, එකට ජීවත් වීමටත් තිබූ අවස්ථා ඉතිහාසය විසින් මග හැර ඇති අතර, මෙවර එය මග නොහැරෙන තැනට පත් කිරීමේ අධිෂ්ඨානය අපි තුළ තිබෙනවා. මෙම බරපතල ව්‍යසන අවස්ථාවේ අප වෙනුවෙන් දැනටමත් ඉදිරිපත් වූ, අපට සහයෝගය දුන් සියලු හිතමිතුරු රටවල්වලට, ඒවායේ නායකයින්ට, පුරවැසියන්ට සහ ජාත්‍යන්තර සංවිධානවලට අපි ස්තුතිය පුද කරනවා. අපේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීමට විධිමත් යාන්ත්‍රණයක් අපි දැනටමත් ස්ථාපිත කොට තිබෙනවා.

මේ තීරණාත්මක ව්‍යසනකාරී මොහොතේ සියලු දේශපාලන මතවාද රට වෙනුවෙන් අමතක කරමු. ජාති, ආගම්, පක්ෂ, පාට භේදවලින් තොරව එකට එක්වෙමු. දේශපාලනය කිරීමට ඕනෑ තරම් කාලය ඇති අතර ව්‍යසනයට මුහුණ දීමට ඇත්තේ ඉතා සීමිත කාලයක්. අපි එක්ව රට ගොඩනගමු. ගොඩනැගූ පසු ඒ රටේ වෙන් වෙන්ව දේශපාලනය කරන්න අපට පුළුවන්කම තිබෙනවා.

විශේෂයෙන් මට මේ පිළිබඳව විශාල විශ්වාසයක් තිබෙනවා. මා මේ රට ගොඩනැගීම පිළිබඳව අචල විශ්වාසයකින් කටයුතු කරන්නේ මා අපේ රටේ පුරවැසියන් කෙරෙහි විශ්වාසය තබන නිසයි. මා අපේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය සේවකයින් කෙරෙහි විශ්වාසය තබනවා. මා මේ රටේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් කෙරෙහි විශ්වාසය තබනවා. මා මේ රටේ බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන් කෙරෙහි විශ්වාසය තබනවා. මා අපේ රටෙන් පිටත ජීවත් වෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කෙරෙහි විශ්වාසය තබනවා. ඒ වගේම අපට හිතමිතුරු රාජ්‍යයන් කෙරෙහි අපි විශ්වාසය තබනවා.

ඒ විශ්වාසය සහිතව මේ රට ගොඩනැගිය හැකියි කියන දැඩි අධිෂ්ඨානයකින් යුතුව අප මෙම කාර්යභාරයට මැදිහත් වී තිබෙනවා. නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනගනවා. මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා. ඒ වෙනුවෙන් පටු වාද භේදවලින් තොරව සියලු දෙනාට මේ සාමූහික ප්‍රයත්නයට එක්වන්න කියලා අපි ආරාධනා කරනවා. ජාතික හා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් ඔස්සේ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින්, හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැප වෙමු කියා මා ඉල්ලා සිටිනවා.

ඕනෑම අන්ධකාරයක ආලෝකය ඇති බව අප විශ්වාස කරනවා. මේ අඳුරු දිනයන් පහව යන බවත් අප විශ්වාස කරනවා. ඒ නිසා අපි එකාවන්ව නැගී සිටිමු. මේ කඳුළු සලන පාරාදීසය සුවපත් කරමු. දීප්තිමත් දිවියක් ගොඩනගමු.

සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.