පෙර පාසල් දරුවන් අට දෙනකු සහ කාන්තාවක් පටවාගෙන ධාවනය වූ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි සිව් හැවිරිදි දැරියක්, සිය හිස ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ශෝකජනක අනතුර සිදුව ඇත්තේ මිල්ලනිය, රන්මිනික ප්‍රදේශයේදීය.
මෙලෙස මියගොස් ඇත්තේ පරගස්තොට, බටහිර පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අමායා දිව්‍යාංජලී නමැති කුඩා දැරියකි. ලබුගම ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලැබූ ඇය, පාසල නිමවීමෙන් පසු තවත් මිතුරු මිතුරියන් හත් දෙනකු සමඟ සුපුරුදු පරිදි ත්‍රිරෝද රථයෙන් නැවත නිවස බලා එමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය මිල්ලනිය රන්මිනික ප්‍රදේශය පසුකරමින් තිබී ඇති අතර, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ටිපර් රථයක් පැමිණ තිබේ. එහිදී ත්‍රිරෝද රථයේ දකුණු පස අසුනේ සිටි මෙම දැරිය රථයෙන් පිටතට හිස යොමුකර සිටියදී, ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ හිස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
අනතුරින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් දැරිය වහාම හල්තොට දිසා රෝහල වෙත ඇතුළත් කර එහි වෛද්‍යවරුන් විසින් මූලික ප්‍රතිකාර ලබා දී ඇති අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් හොරණ මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. කෙසේ වෙතත් හොරණ රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. අවාසනාවන්ත ලෙස මියගිය මෙම දැරිය පවුලේ එකම දරුවා බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය, අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු මෙන්ම 10 දෙනෙකු සහිතව කුඩා දරුවන් අනාරක්ෂිත ලෙස ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයේ රියදුරු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිල්ලනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේක සිල්වා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අල්විස් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval