prasanna-ranatunga-arrested

 දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (12) දින පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



මෙලෙස ඔහු අද දින කොමිසම හමුවට පැමිණීමට පෙර, අත්අඩංගුවට ගැනීමේ අපේක්ෂාවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ මෙම හිටපු අමාත්‍යවරයාගේ නිවසට පසුගියදා ගොස් ඇති බවටද තොරතුරු වාර්තා විය.

අද ඔහු අත්අඩංගුවට පත්වූ අල්ලස් කාරණාව තවම කොමිසම මගින් පැහැදිලි කර නැත.




ප්‍රසන්න රණතුංග මහතා මින් පෙර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අදාළව ව්‍යාපාරික යුවළකට තර්ජනය කර රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල විය. එම නඩු විභාගයෙන් අනතුරුව 2022 වසරේ ජූනි 06 වන දින මහාධිකරණය විසින් ඔහුව වැරදිකරු කරමින්, වසර හයක අත්හිටවූ සිර දඬුවමක් සහ රුපියල් මිලියන 25ක දඩ මුදලක් නියම කරනු ලැබිණි.

මහාධිකරණ තීන්දුවට එරෙහිව රණතුංග මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළද, පසුගිය 10 වන දින ඔහු එම අභියාචනය ඉල්ලා අස්කර ගන්නා ලදී. අදාළ පෙත්සම මෙලෙස ඉල්ලා අස්කර ගැනීම තුළින් ඔහු වරද පිළිගැනීමක් සිදුව ඇති බවට අර්ථකථනය වූ අතර, පසුව නියම වූ රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීම සඳහා අභියාචනාධිකරණය ඔහුට කල් ලබා දීමටද පියවර ගෙන තිබුණි.