
යාපනය, කෝපායි නැගෙනහිර, ඉරුවිලායි ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි ප්‍රදීපා නිවේතා නමැති තරුණියක පසුගිය 09 වැනිදා අභිරහස් ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ මවගේ සොහොයුරා (මාමා) කෝපායි පොලිසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් වාර්තා වන තොරතුරුවලට අනුව, පසුගිය 09 වැනිදා අලුයම 2.00 ට පමණ මෙම තරුණියට හුස්ම ගැනීමේ දැඩි අපහසුවක් ඇති වී තිබේ. එම අවස්ථාවේදී ගිලන් රථ සේවයකට දැනුම් දී ඇති අතර, එහි පැමිණි ගිලන් රථ සේවකයින් අදාළ තරුණිය ඒ වන විටත් මියගොස් ඇති බව දන්වා ආපසු හැරී ගොස් ඇත.
පසුව, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබේ. මරණය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී, මියගිය තරුණියට ඇදුම රෝගය (ආස්ත්මාව) පැවති බවට ඇයගේ ඥාතීන් විසින් ප්‍රකාශ කර තිබූ බවද වාර්තා විය.
කෙසේ වෙතත්, තරුණියගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී, ඇයගේ ශරීරය පුරාම දරුණු ලෙස පහරදීමෙන් ඇති වූ තැලීම් තුවාල පවතින බව අනාවරණය වී ඇත. මෙම සොයාගැනීමත් සමග මරණය පිළිබඳව නැවත සිදුකළ විමර්ශනවලදී කම්පන සහගත තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ.
මියගිය මෙම තරුණිය මව්පියන් නොමැති අයෙකු වන අතර, ඇය සිය සොහොයුරිය සමග ජීවත්වී ඇත. පසුගිය 08 වැනි සෙනසුරාදා දින, ඇය සිය සොහොයුරියට කිසිවක් නොදන්වා නිවසින් පිටතට ගොස් පසුව නැවත නිවසට පැමිණ තිබේ.
මෙම සිදුවීම හේතුවෙන්, තරුණියගේ මාමා විසින් අමු පලු මට්ටකින් (කෝටුවකින්) ඇයට අමානුෂික ලෙස පහර දී ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇත.
මෙම පහරදීමෙන් අනතුරුව, පසුදා එනම් 09 වැනිදා අලුයම 2.00 ට පමණ තරුණියට හුස්ම ගැනීමේ අපහසුව මතුවී ඇති අතර, එම අවස්ථාවේදී ගිලන් රථ සේවය කැඳවූවද, ඔවුන් පැමිණෙන විටත් ඇය මියගොස් සිට ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය නමසිවායම් ප්‍රේම්කුමාර් මහතා විසින් සිදු කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළ කෝපායි පොලිසිය, මියගිය තරුණියගේ මාමා වන, යාපනය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයෙකු ලෙස සේවය කරන පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු අදාළ විමර්ශන කටයුතු වලින් අනතුරුව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval