gossiplanka image 1

 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර ධුරය වන දියවඩන නිලමේ තනතුර සඳහා අද (07) පස්වරුවේ පැවති නිලවරණයෙන්, හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නැවත වරක් තේරී පත්විය. මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් ආර්. එම්. ගාමිණී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිලවරණය පවත්වන ලදී.



මෙවර නිලවරණය සඳහා මූලිකව අපේක්ෂකයින් හත් දෙනෙකු ඉදිරිපත්ව සිටියද, ඉන් සිව් දෙනෙකුගේ නම් යෝජනා කිරීමට ඡන්ද දායකයින් කිසිවෙකු ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමක් විය.


ඒ අනුව මහාචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහේන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන සහ නන්ද මඩුගල්ලේ යන මහත්වරුන්ට රැස්වීම් ශාලාවෙන් ඉවත්ව යාමට සිදු වූ අතර, ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ සහ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක යන මහත්වරු අතර තරගය පැවැත්විණි.

ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද 267 න් ඡන්ද 195 ක් ලබා ගනිමින් ප්‍රදීප් නිලංග දෑල මහතා බහුතර කැමැත්ත දිනා ගත්තේය. ඔහුට එරෙහිව තරග වැදුණු දමින්ද උඩුරාවණ මහතා ඡන්ද 50 ක් ද, ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක මහතා ඡන්ද 13 ක් ද ලබා ගත්හ.

සිය ධුර කාලය තුළ සිදු කරන ලද සේවය සලකා බලන විට තමාගේ ජයග්‍රහණය පිළිබඳව විශ්වාසයක් පවතින බව වත්මන් දියවඩන නිලමේ දෑල බණ්ඩාර මහතා මින් පෙර ප්‍රකාශ කර තිබුණි. ඔහු 2005 වසරේදී වයස අවුරුදු 31 දී ප්‍රථම වරට ඡන්ද 199ක් ලබා තේරී පත් වූ අතර, 2015 සිට 2025 දක්වා කාලය සඳහාද නැවත තේරී පත් විය.


2005 වසරේදී මාළිගාවේ මාසික ආදායම රුපියල් මිලියන 80ක්ව පැවති නමුත්, නිසි විනිවිදභාවයකින් යුතු කළමනාකරණය හේතුවෙන් මේ වන විට එම ආදායම මසකට රුපියල් බිලියනයක් දක්වා ඉහළ නංවා ඇති බවද ඔහු පැවසීය.


මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රදීප් නිලංග දෑල මහතාට 2035 වසර දක්වා ඉදිරි දස වසරක කාලයක් සඳහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දැරීමට අවස්ථාව හිමිවේ. තෙවන වරටත් මෙම තනතුරට පත්වීම හේතුවෙන් ඉතිහාසයේ වැඩිම කාලයක් දියවඩන නිලමේ ධුරය හෙබවූ පුද්ගලයා ලෙසද ඔහුගේ නම ඉතිහාසයට එක්වනු ඇත.