
කටාන, ඇත්ගාල, තේක්කවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලීමට කොච්චිකඩේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී, එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ කළ පුද්ගලයකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කරයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටාන, කඳවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මුදලට සූදු කෙළින ස්ථානයක් පිළිබඳව කොච්චිකඩේ පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත ඊයේ (05) දින අලුයම 2.00 ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ.
එම අවස්ථාවේදී සූදු ක්‍රීඩාවේ නිරතව සිටි බව කියන සැකකරුවන් දස දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමෙන් පැය කිහිපයකට පසු, ඊයේ උදෑසන 7.00 ට පමණ 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු පණිවිඩයක් අනුව සිදුකළ සෝදිසි කිරීමකදී, අනාරක්ෂිත ළිඳකට වැටී මියගිය පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා විසින් ස්ථානීය පරීක්ෂාවක් ද පවත්වා ඇත. ඉන් අනතුරුව, මියගිය අයගේ දේහය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ. කොච්චිකඩේ පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval