පොලිස් වාර්තා ලබා ගැනීමේදී අයදුම්කරුගේ පදිංචිය තහවුරු කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ චරිත සහතිකයක් ද අත්‍යවශ්‍ය බවට පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කර සිටී.
ග්‍රාම නිලධාරීවරුන් උපුටා දක්වමින් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මෙම පුවත සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කර ඇත.දේශීය රැකියා සහ මැදපෙරදිග රටවල රැකියා සඳහා විදෙස් ගතවීමට අපේක්ෂා කරන පුද්ගලයින් පොලිස් වාර්තා ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදය ද මෙහිදී පොලිසිය විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව අදාළ පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය, ජාතික හැඳුනුම්පත සහ ග්‍රාම නිලධාරී සහතිකය තම පදිංචි පොලිස් වසමට අදාළ පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව සිදු කරන විධිමත් විමර්ශනයකින් පසු කඩිනමින් අදාළ වාර්තාව නිකුත් කරනු ලැබේ.
එමෙන්ම මැදපෙරදිග කලාපයට අයත් නොවන වෙනත් රටවල රැකියා, අධ්‍යාපන හෝ පදිංචිය සඳහා විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය (Online) භාවිත කළ යුතු බව පොලිසිය දන්වා සිටී. එහිදී පොලිස් නිල වෙබ් අඩවියේ දක්වා ඇති අවශ්‍ය ලේඛනවල පිටපත් අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමෙන් (Upload) පසු අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කර පොලිස් නිෂ්කාශන වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
ඒ අනුව පොලිස් වාර්තාවක් ලබා ගැනීමේදී මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ චරිත සහතිකයක් කිසිදු විටෙක අවශ්‍ය නොවන බවත්, එසේ අවශ්‍ය බවට ප්‍රචාරය කිරීම මහජනතාව නොමග යවන සුළු ක්‍රියාවක් බවත් පොලිසිය පෙන්වා දෙයි. මෙවැනි සත්‍යයෙන් තොර පුවත් සමාජගත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval