තායිලන්තයේ පැවැත්වීමට නියමිත 2025 විශ්ව රූ රැජින (Miss Universe) තරඟාවලියට දින කිහිපයක් තිබියදී එහි විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් දෙදෙනෙකු හදිසියේ ඉල්ලා අස් වී ඇති අතර, ඉන් එක් අයෙකු තරඟ සංවිධායකයින්ට එරෙහිව බරපතල වංචා චෝදනාවක් එල්ල කර තිබේ.
මෙම ඉල්ලා අස්වීම් සිදුව ඇත්තේ තරඟාවලියේ අවසන් වටය එළඹෙන සිකුරාදා පැවැත්වීමට සූදානම් කර ඇති පසුබිමක වීම විශේෂත්වයකි.ලෙබනන්-ප්‍රංශ සංගීතඥයෙකු වන ඕමාර් හාර්ෆූච් (Omar Harfouch) සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇතුළු නිල විනිසුරු මඩුල්ලේ අනුදැනුමකින් තොරව, අවසන් වටයට සුදුසුකම් ලබන තරඟකාරියන් 30 දෙනෙකු කල් තියාම තෝරාගෙන ඇති බවයි.ශ්‍රී ලංකාව නියෝංනය කරමින් ලිහාසා ලින්ඩ්සේ තරගකාරිය මෙයට සහභාගී වන අතර ඇය එම වටයට තෝරාගත්තේදැයි පැහැදිලි නැත.
රටවල් 136 කින් පැමිණි තරඟකාරියන් අතුරින් මෙම තේරීම සිදු කිරීම සඳහා,
තරඟකාරියන් සමඟ පෞද්ගලික හිතවත්කම් ඇති පිරිසක් ඇතුළත් "හදිසි ජූරියක්" (impromptu jury) ක්‍රියාත්මක වී ඇති බවත්, මෙය විශාල ගැටුමක් නිර්මාණය කරන්නක් බවත් ඔහු චෝදනා කරයි.
හාර්ෆූච්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව, ප්‍රංශ පාපන්දු කළමනාකරුවෙකු වන ක්ලෝඩ් මැකෙලෙලේ (Claude Makélélé) ද "නොසිතූ පෞද්ගලික හේතු" මත තමන් විනිසුරු මඩුල්ලෙන් ඉවත් වන බව නිවේදනය කළේය. මෙය තමන් ගත් දුෂ්කර තීරණයක් බව පැවසූ මැකෙලෙලේ, විශ්ව රූ රැජින වේදිකාව නියෝජනය කරන කාන්තා බලගැන්වීම සහ විවිධත්වය වැනි අගයන් තමන් සැමවිටම අගය කරන බව සිය ඉල්ලා අස්වීමේ සටහනෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කළ විශ්ව රූ රැජින සංවිධානය පවසන්නේ අවසන් තරඟකාරියන් තෝරා ගැනීම සඳහා කිසිදු බාහිර කණ්ඩායමකට බලය පවරා නොමැති බවයි. හාර්ෆූච් විසින් "හදිසි ජූරියක්" ලෙස වරදවා වටහාගෙන ඇත්තේ, තරඟාවලියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන හා වෙනම තේරීම් කමිටුවක් සහිත "Beyond the Crown" නම් සමාජ සත්කාර වැඩසටහන විය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.
මීට සති කිහිපයකට පෙර තායිලන්තයේ පැවති පූර්ව ප්‍රවර්ධන වැඩසටහනකදී, මෙක්සිකානු රූ රැජින ෆාතිමා බොෂ් විසින් සමාජ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් තායිලන්ත සංවිධායක නවාත් ඉට්සරාග්‍රිසිල් (Nawat Itsaragrisil) විසින් ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීම හේතුවෙන් ඇති වූ අර්බුදය ද මෙම ඉල්ලා අස්වීම්වලට පසුබිම් වී තිබේ. එම සිදුවීමෙන් පසු තරඟකාරියන් පිරිසක් විරෝධය පාමින් එම අවස්ථාවෙන් ඉවත්ව ගිය අතර, පසුව ජාත්‍යන්තර විධායක නිලධාරීන් පිරිසක් පැමිණ තරඟාවලියේ පාලනය භාර ගැනීමට කටයුතු කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval