pc-who-stopped-a-car-after-hanging-from-the-bonnet-for-a-distance-of-one-and-a-half-kilometres-is-in-hospital

 නිවිතිගල, උඩ පෑබොටුව ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්ව රෝහල් ගත කර තිබේ. දෙල්වල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර,

සැකකරු විසින් පදවාගෙන ගිය මෝටර් රථය නතර කිරීමට යාමේදී එය නොනවත්වා ධාවනය කිරීම නිසා නිලධාරියා මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී එය නතර කිරීමට උත්සාහ දැරීමේදී මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය වූ අවස්ථාවේදී දෙල්වල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ අදාළ පොලිස් කොස්තාපල්වරයා පොලිස් ජීප් රථයෙන් උඩ පෑබොටුව දෙසට ගමන් කරමින් සිටියදී, එම ප්‍රදේශයේ වෙළඳසැලකින් එළියට පැමිණි පුද්ගලයෙකු නිරීක්ෂණය වී තිබේ. ඔහුට අධිකරණ වරෙන්තුවක් පවතින බව ස්ථානාධිපතිවරයා විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව, එම නිලධාරීන් මෝටර් රථය අසලට ගොස් සැකකරුට වාහනයෙන් බසින ලෙස නියෝග කර ඇත.




කෙසේ වෙතත්, පොලිස් අණ නොතැකූ සැකකරු මෝටර් රථය ඉදිරියට ධාවනය කිරීමට පටන් ගෙන ඇති අතර, එම අවස්ථාවේදී එය නතර කිරීමට පොලිස් කොස්තාපල්වරයා බොනට්ටුව මතට පැන තිබේ. මෝටර් රථය පදවාගෙන ගිය පුද්ගලයා පොලිස් නිලධාරියා බොනට්ටුව මත සිටියදීම කිලෝමීටර් එක හමාරක (1 1/2) පමණ දුරක් වාහනය ධාවනය කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරුව පොලිස් නිලධාරියා මෝටර් රථයෙන් බිමට ඇද වැටී ඇති අතර, තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. පලාගිය සැකකරු නිවිතිගල ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවත්, ඔහු පැමිණි මෝටර් රථය උඩ පෑබොටුව ප්‍රදේශයේ අතුරු මාර්ගයක නිවසක් අසල දමා සැකකරු පලාගොස් ඇති බවත් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙල්වල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.




gossiplanka image 2