external-investigation-reveals-harassment-of-parliamentary-it-employee

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරිනියකට විවිධාකාර අසාධාරණකම් මෙන්ම වෙනස් කොට සැලකීම් සිදුව ඇති බවට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ මූලිකත්වයෙන් පත් කරන ලද විමර්ශන කමිටුව විසින් තහවුරු කර තිබේ.



අදාළ විමර්ශන වාර්තාව කමිටුවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඊයේ (24) දින භාර දෙනු ලැබූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.




අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කතානායකවරයා විසින් මෙම බාහිර විමර්ශන කමිටුව පත් කර ඇත. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අභ්‍යන්තර කමිටු දෙකක් පත් කළද, පැමිණිලිකාරිය විසින් එම කමිටුවල සිටි නිලධාරීන්ව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස බාහිර කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබිණි.

මේ අතර, මීට පෙර අවස්ථාවකදී ද පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් පිරිසකට සිදුවූ ලිංගික හිරිහැර සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට අදාළව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට පාර්ලිමේන්තු බලධාරීන් කටයුතු කර තිබුණි.