mount-lavinia-lawyer-constable-awanadwa-dispute-fails-to-reach-a-settlement

 ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ දී පසුගිය ඔක්තෝබර් මස 10 වන දා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ පොලිස් කොස්තාපල්වරයෙකු අතර ඇති වූ සිදුවීමට අදාළව තමන්ට සමථයකට පැමිණිය නොහැකි බව, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ (නොවැ. 17) අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පසුගිය නොවැම්බර් 8 වන දා සමථ මූල මණ්ඩලය වෙත කැඳවා තිබුණ ද, ඊට සහභාගී වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා පමණක් බවත්, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඊට පැමිණ නැති බවත් ගල්කිස්ස පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. පොලිසිය විසින් සාක්ෂි සම්පිණ්ඩන වාර්තා හයක් ද සමග වැඩිදුර වාර්තාවක් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නඩු විභාගය අතරතුර, පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයෙන් පටිගත කරන ලද දර්ශන අඩංගු සීඩී තැටි සහ බන්ධනාගාර බස් රථයේ කැමරාවෙන් පටිගත වූ දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවේදී සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ,


අදාළ දර්ශන පටිගත කරන ලද කොස්තාපල්වරයාට අයත් මුල් ජංගම දුරකතනය ද සීඩී තැටි සමග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ යුතු බවයි.

එම ජංගම දුරකතනය රස පරීක්ෂකවරයා වෙත ලබා නොදෙන්නේ නම්, මෙම සීඩී තැටි ද රස පරීක්ෂකවරයා වෙත යැවීමට තමන් ඇතුළු නීතිඥ කණ්ඩායම විරුද්ධ වන බවත්, එසේ යොමු කරන්නේ නම් එය පොලිස් නිලධාරීන් විසින් නොව අධිකරණ නිලධාරියෙකු මගින් සිදු කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ, අදාළ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට නුවර ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබා ඇති බැවින් සහ සිද්ධිය පටිගත කළ ජංගම දුරකතනය ඔහුගේ පෞද්ගලික දුරකතනය වන බැවින් එය රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු නොකළ බවයි. කෙසේ වෙතත්, එම දුරකතනය මගින් බාගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී තැටි තුනක් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද විමර්ශන නිලධාරියා පැවසීය.

කරුණු සලකා බැලූ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කළේ, මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි ප්‍රබල සාක්ෂියක් වන බැවින්, අදාළ සීඩී තැටි සහ ඩීවීආර් යන්ත්‍රය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් නම් කරනු ලබන අධිකරණ නිලධාරියෙකු මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ යුතු බවයි. එමෙන්ම, අදාළ ජංගම දුරකතනය ද පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් පවතීද යන්න පිළිබඳව එදිනම සංදේශයක් මගින් අධිකරණ නිලධාරියා මගින් විමසා අධිකරණයට දන්වන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඒ අනුව, සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට එරෙහිව ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මස 02 වන දිනට නැවත කැඳවීමට නියම කෙරිණි.




මේ අතර, පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර නිලධාරියාට එරෙහිව ගොනු කර ඇති නඩුවේදී, ඔහු සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය ඔක්තෝබර් 10 වන දා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණ ද, එම වෛද්‍ය වාර්තාව මෙතෙක් අධිකරණය වෙත ලැබී නොමැති බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී පැවසුවාය.

මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර ඇත්ද යන්න පිළිබඳව විමසා බලා, නොවැම්බර් 19 වන දා අධිකරණය වෙත ලිඛිතව කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, තම සේවාදායකයා මේ වන විට නුවර ප්‍රදේශයේ පොලිස් රාජකාරියේ නියුතුව සිටින බැවින්, මෙම මානසති රෝග වෛද්‍ය වාර්තාව ඉතා ඉක්මණින් කැඳවන ලෙසයි. ඒ සඳහා සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඕනෑම අවස්ථාවක සහාය දීමට අපේක්ෂාවෙන් සිටින බව ද එම නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. එම නඩුව නොවැම්බර් 19 වන දා නැවත කැඳවීමට නියමිතව තිබිණි.