mathisha-killed-by-tractor-while-crossing-road

 පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයෙන් හැරී අසේලපුර දෙසට දිවෙන මාර්ගයේ දී ඊයේ (08) සවස සිදුවූ රිය අනතුරකින් අට හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි. මෙම අනතුර සිදුව ඇත්තේ දරුවා සිය පවුලේ සාමාජිකයන් සමඟ වන අලින් නැරඹීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටිය දීයි.



ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම පිරිස නිවස අසල රථය නවත්වා ඇති අතර, එම අවස්ථාවේ දී ඉන් බැස ගත් දරුවා ත්‍රිරෝද රථයට පිටුපසින් මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කර තිබෙයි. එහිදී අසේලපුර සිට කුරුළුබැද්ද දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයේ දරුවා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා විය.




අනතුරෙන් බරපතල තුවාල ලැබූ දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද, අසේලපුර, මහවැලි නිවාස ප්‍රදේශයේ පදිංචිව සිටි මතීෂ කවිශ්ක නැමැති අට හැවිරිදි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වැලිකන්ද පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

gossiplanka image 1



gossiplanka image 3