800-drug-complaints-received-at-1818-in-4-days

 මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා මහජනතාවට තොරතුරු ලබා දීමට හඳුන්වා දුන් 1818 ක්ෂණික දුරකථන අංකයට පසුගිය දින හතර ඇතුළත පමණක් පැමිණිලි 800 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.



අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටු දැමීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක 'රටම එකට' ජාතික වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට අද (09) එක්වෙමිනි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.




විශේෂයෙන් පාසල් පද්ධතිය ආශ්‍රිතව ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු ලැබී ඇති බවත්, මෙම කෙටි කාලය තුළ 1818 අංකය ඔස්සේ ලැබුණු තොරතුරු සහ පැමිණිලි ඉදිරි වැටලීම් සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත භාර දී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. ලැබී ඇති තොරතුරු අතරින් විශාල ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම විශේෂ මෙහෙයුම් ආරම්භ කළ මුල් දින හතර තුළ පමණක් පොලීසිය විසින් සැකකරුවන් 5300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, කොළඹ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව එම මෙහෙයුම්වලදී නිරීක්ෂණය වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.