ජනප්‍රිය බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා යොදා ගනිමින් සිදුකළ ආන්දෝලනාත්මක ලිප්ස්ටික් වෙළඳ දැන්වීම සහ නිළි සොනක්ෂි සින්හා පොලිස් අත්අඩංගුවට පත් වූ බව හුවා දක්වමින් කළ ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය හරහා ඉන්දියාව පුරා අතිශය ජනප්‍රිය වූ රූපලාවණ්‍ය සන්නාමයක් වන මයි ග්ලැම් හදිසියේම බිඳ වැටීම කාගේත් විස්මයට හේතු වී තිබේ.
ඉන්දීය රුපියල් කෝටි 7,000 ක දැවැන්ත වටිනාකමක් හිමිව තිබූ මෙම සමාගම ඊළඟ යුනිලීවර් යනුවෙන් ඇතැමුන් හඳුන්වා තිබූ අතර ක්ෂණයකින් බිංදුවට වැටීම පිටුපස ඇත්තේ සැලසුම් සහගත නොවූ කළමනාකරණ තීරණ බව එහි නිර්මාතෘවරයා මෑතකදී හෙළි කළේය."Good Glamm Group" නමින් හැඳින්වූ මෙම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී දර්පන් සංග්වි පෙන්වා දෙන්නේ අසීමිත වේගයකින් ව්‍යාපාරය පුළුල් කිරීමට යාමේදී ගත් වැරදි තීරණ මෙම ඛේදවාචකයට මුල් වූ බවයි.
මෙම සමාගම MyGlamm, Sirona, The Moms Co සහ Organic Harvest වැනි ප්‍රකට රූපලාවණ්‍ය සහ පෞද්ගලික සත්කාරක සන්නාම රැසක් ඒකරාශී කරගත් දැවැන්ත ජාලයක් ලෙස ක්‍රියාත්මක විය. 2020 වසරේදී රුපියල් කෝටි 40 ක පමණ වටිනාකමක් තිබූ සමාගම 2023 වන විට රුපියල් කෝටි 650 දක්වා වර්ධනය වූ අතර ඉතා ඉක්මනින් එහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 7,000 සීමාව ස්පර්ශ කළේය. කෙසේ වෙතත්, සමාගම සතුව තිබූ සන්නාම එකින් එක විකුණා දැමීමට සිදු වූ අතර, ඒ සියල්ල නව හිමිකරුවන් යටතට පත්වීමත් සමඟ මෙම දැවැන්ත ව්‍යාපාරික අධිරාජ්‍යය බිඳ වැටුණි. මෙම බිඳවැටීම කෙතරම් දරුණු වීද යත්, සේවක වැටුප් සහ සැපයුම්කරුවන්ගේ ගෙවීම් පවා සිදු කිරීමට නොහැකි තත්ත්වයකට සමාගම පත් වූ බව සංග්වි මහතා සිය LinkedIn ගිණුම ඔස්සේ සංවේදී සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.
මෙම ව්‍යාපාරික අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ, වෙනත් සමාගමක් අත්පත් කර ගැනීම සඳහා සැලසුම් කළ දැවැන්ත ගනුදෙනුවක් හදිසියේම අසාර්ථක වීමයි. අදාළ ගනුදෙනුවට සම්බන්ධ අනෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා අස්වීමත් සමඟ ගනුදෙනුව අතරමග නතර වූ අතර, එය Good Glamm Group වෙත දැඩි මූල්‍ය අර්බුදයක් ඇති කිරීමට සමත් විය. මීට අමතරව, සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් කෝටි 3,000 ක වියදමින් තවත් අත්පත් කර ගැනීමක් සිදු කිරීමට යාමද මෙම අර්බුදය තවත් තීව්‍ර කළේය. 2021 වසර අවසන් වන විට මාසිකව ගනුදෙනුකරුවන් ලක්ෂ 3.5 ක් පමණ සිටියද, අලෙවිකරණ පිරිවැය ඉහළ යාම හේතුවෙන් සෑම ගනුදෙනුවකින්ම සමාගමට පාඩු සිදු වූ අතර, එම කාලය තුළ රුපියල් කෝටි 600 ක පමණ මුදලක් නිකරුණේ විනාශ වී ගිය බව සංග්වි මහතා සඳහන් කරයි.
අභ්‍යන්තර පරිපාලනය තුළද විශාල අර්බුදයක් නිර්මාණය වී තිබූ අතර, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සේවක සංඛ්‍යාව 200 සිට 1,200 දක්වා හදිසියේම වැඩි කිරීම ඊට හේතු විය. සමාගම් 11 ක් සහ විවිධ නිර්මාතෘවරුන් රැසක් එකම කුඩයක් යටතේ වැඩ කිරීමට යාමෙන් ආයතනික ව්‍යුහය තුළ විශාල අවුල් සහගත තත්ත්වයක් පැන නැගුණු අතර මූලික කණ්ඩායම් විසිරී ගියේය.
තමන් "ඊළඟ යුනිලීවර්" (Unilever) සමාගම වීමට සිහින දකිමින්, අන්තර්ජාල ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් සාම්ප්‍රදායික වෙළඳසැල් ජාලයක් ගොඩනැගීමට රුපියල් කෝටි 300 ක් වියදම් කළ බවත්, ලාභදායීත්වය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආයෝජකයින් කළ අනතුරු ඇඟවීම් තමන් නොසලකා හැරිය බවත් ඔහු කණගාටුවෙන් යුතුව පිළිගනී.
කෙසේ වෙතත්, සමාගම මූල්‍යමය වශයෙන් කඩා වැටෙද්දී පවා ඔවුන්ගේ අලෙවිකරණ උපාය මාර්ග අතිශයින්ම සාර්ථක මට්ටමක පැවතුණි. ප්‍රකට නළුවෙකු වූ සිද්ධාර්ත් මල්හෝත්‍රා යොදා ගනිමින් "සතුන් මත නොව, සිද්ධාර්ත් මත පරීක්ෂා කරන ලදී" (Tested on SID, not on animals) යන තේමාව යටතේ නිර්මාණය කළ ලිප්ස්ටික් දැන්වීම එකල ඉන්දියාවේ සත්ත්ව හිංසනයට එරෙහි රීති දැඩි වෙමින් තිබූ අවස්ථාවක සමාජය තුළ විශාල කතාබහක් ඇති කළේය. එමෙන්ම ජනප්‍රිය නිළි සොනක්ෂි සින්හා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව අඟවමින් නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝවක් හරහා කළ ප්‍රචාරණය කෙතරම් ප්‍රබල වීද යත්, ඇගේ පියා වන ශතෘගන් සින්හාගේ කාර්යාලයෙන් පවා ඒ පිළිබඳව විමසීම් කර තිබුණි. මෙවැනි නිර්මාණාත්මක ප්‍රචාරණ උපක්‍රම මගින් සමාගම ප්‍රසිද්ධියට පත් වුවද, අභ්‍යන්තරයේ ඔඩුදුවමින් තිබූ දැවැන්ත මූල්‍ය අර්බුදය වසා ගැනීමට එය ප්‍රමාණවත් නොවූ බව දර්පන් සංග්වි අවසානයේදී පසක් කර ගත්තේය.
ආන්දෝලනය ඇති කළ සිද්ධාර්ත්ගේ හා සොනක්සිගේ වීඩියෝ දැන්වීම් මෙතැනින් බලන්න click here

Comments
Post a Comment
Your comment will be visible after approval