නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජංගම දුරකථන හතරක් ලබාදීමට උත්සාහ කළ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සීනි සම්බෝල සහිත බනිස් ගෙඩි දෙකක් තුළ සඟවා මෙම දුරකථන ලබාදීමට උත්සාහ කර ඇත්තේ කොළඹ 15, අලුත් මාවත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව බන්ධනාගාර ආපනශාලාවෙන් මිලදී ගත් සීනි සම්බෝල බනිස් ගෙඩි දෙක තුළට සූක්ෂම ලෙස දුරකථන දෙක බැගින් ඇතුළු කරන අයුරු,
ආපනශාලාව භාර නිලධාරියාගේ නිරීක්ෂණයට ලක්ව ඇත. සැකකටයුතු ලෙස හැසිරුණු ඇය පිළිබඳ අවධානයෙන් සිටි නිලධාරියා වහාම ක්‍රියාත්මක වී ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ජාවාරම්කරුගේ තොරතුරු හෙළිවී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසිය වෙත භාර දී ඇත.