bbc-boss-forced-to-resign-over-trump-speech-editing-error

 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කළ ආකාරය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ (BBC) ප්‍රධානීන් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබේ. මෙලෙස සිය ධූරවලින් ඉවත්වන බව නිවේදනය කර ඇත්තේ BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ එම ආයතනයේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානී ඩෙබොරා ටර්නස් ය.



මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය වසරේ විකාශය වූ 'පැනොරාමා' (Panorama) නම් ගවේෂණාත්මක වාර්තා වැඩසටහනයි. 2021 ජනවාරි 6 වන දින වොෂින්ටන් හි කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයට පෙර ට්‍රම්ප් සිදුකළ කතාවේ කොටස් එහිදී නොමඟ යවන සුළු අයුරින් සංස්කරණය කර තිබූ බවට චෝදනා එල්ල වී තිබේ. ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට "සාමකාමීව සහ දේශප්‍රේමීව" විරෝධතා දැක්වීමට කළ ඉල්ලීම එම වැඩසටහනෙන් ඉවත් කර තිබූ අතර, කතාවේ විවිධ අවස්ථාවල කියූ කොටස් එකට එක් කර ඔහු ප්‍රචණ්ඩත්වයට අනුබල දුන් බව හැඟවෙන ලෙස එය සකස් කර තිබීම මෙම දැඩි විවේචනයට තුඩු දී ඇත.




'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පතට ලැබුණු අභ්‍යන්තර වාර්තාවක් මගින් මෙම ගැටළුව මුලින්ම ප්‍රසිද්ධියට පත් විය. එම වාර්තාව මගින් ට්‍රම්ප්ගේ කතාව පිළිබඳ ආවරණයට අමතරව, ඊශ්‍රායල-හමාස් යුද්ධය සහ සංක්‍රාන්ති ලිංගික කරුණු සම්බන්ධයෙන් BBC ආයතනය අනුගමනය කළ වාර්තාකරණය ද විවේචනයට ලක් කර තිබුණි.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සඳහන් කළේ ආයතනය තුළ සිදුවූ ඇතැම් වැරදි සම්බන්ධයෙන් තමන් අවසන් වගකීම භාර ගන්නා බවයි. මේ අතර, ප්‍රවෘත්ති අංශ ප්‍රධානී ඩෙබොරා ටර්නස් පැවසුවේ මෙම මතභේදය තමන් ආදරය කරන ආයතනයට හානි කරන මට්ටමකට පැමිණ ඇති බැවින් තමන් ඉවත්වන බවත්, නායකයින් වගවීම අත්‍යවශ්‍ය බවත්ය. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අදාළ මාධ්‍යවේදීන් "දූෂිත" සහ "අවංක නොවන" පුද්ගලයන් ලෙස හඳුන්වා තිබේ.

gossiplanka image 1



gossiplanka image 2
gossiplanka image 3