රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) සිට විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එම සංගමය පවසන්නේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර ආයතනවලින් ඖෂධ ලබාගැනීම හෝ රසායනාගාර පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා නිර්දේශ පත්‍රිකා (තුණ්ඩු) නිකුත් කිරීම මෙතැන් සිට සම්පූර්ණයෙන්ම නතර කරන බවයි.
2026 අයවැය මගින් වෛද්‍යවරුන් සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි ලෙස නොසලකා හැරීමට විරෝධය පෑමක් ලෙස මෙම පියවර ගන්නා බව එම සංගමය සඳහන් කරයි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා කොළඹදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළේය. සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු සඳහා විසඳුම් ඇතුළත් යෝජනාවලියක් රජයට භාර දුන්නද, 2026 අයවැය මගින් එම යෝජනා සඳහා කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවද ඒ මහතා එහිදී චෝදනා කළේය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ, රෝහල තුළ ඖෂධ නොමැති වුවද පිටතින් ලබාගැනීමට වට්ටෝරු නිකුත් නොකිරීමටත්, රසායනාගාර පරීක්ෂණ පිටතින් සිදුකිරීමට නිර්දේශ නොකිරීමටත් වෛද්‍යවරුන් පියවර ගනු ඇත. තවද, දේශපාලන නියෝජිතයන්ගේ අවශ්‍යතා මත සංවිධානය කෙරෙන සායනික කටයුතුවලින් ඉවත් වීමටත්, අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව නොමැතිව ආරම්භ කරන නව රෝහල් ඒකක සඳහා තම සංගමයේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් යෙදවීම වැළැක්වීමටත් තීරණය කර තිබේ. ඊට අමතරව, රෝගියෙකුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පහසුකම් නොමැති කිසිදු රෝහලක රෝගීන් පරීක්ෂා කිරීමෙන් වැළකී සිටින බවද ලේකම්වරයා අවධාරණය කළේය.
කෙසේවෙතත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින බරපතළ ගැටලු මධ්‍යයේ වුවද, රෝගී සත්කාර සේවා අඩපණ වීමට හෝ රෝහල් පද්ධතිය කඩා වැටීමට තම සංගමය මෙතෙක් ඉඩ නොදුන් බව වෛද්‍ය සුගතදාස මහතා පැවසීය. මෙම ගැටලු සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට තම සංගමය සමග සාකච්ඡා කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.