423-million-compensation-to-the-contractor-due-to-delay-in-the-port-terminal

 කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් දින 548 කින් ප්‍රමාද වීම නිසා, අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රුපියල් කෝටි 423 කට ආසන්න වන්දි මුදලක් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) හෙළිදරව් වී තිබේ.



2021 වසරේ දෙසැම්බර් මස අත්සන් තැබූ ගිවිසුමට අනුව, 2025 ජනවාරි 03 වැනිදා වන විට මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණද, විවිධ හේතූන් මත එය ප්‍රමාද වී ඇති බව පැවසේ.


කාල සීමාව දීර්ඝ කිරීමෙන් අනතුරුව, ලබන වසරේ ජූලි මාසයේදී මෙම කටයුතු අවසන් කිරීමට නියමිත බවද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණය විය. මෙම සමස්ත ව්‍යාපෘති ප්‍රමාදය සහ ඊට අදාළ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් වහාම බාර දෙන ලෙස කාරක සභා සභාපතිවරයා වරාය අධිකාරියට නිර්දේශ කර ඇත.

ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරනු ඇති බවට අධිකාරියේ නිලධාරීන් මෙහිදී අදහස් පළ කළහ. තවද, වරාය අධිකාරිය සතු ඉඩම් බාරගැනීම හා බැහැර කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, අධිකරණය මගින් බැහැර කිරීමට හෝ අත්පත් කරගැනීමට නිර්දේශ කර ඇති ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය. ඊට අදාළව අවශ්‍ය පියවර ගෙන ඇති බව නිලධාරීහු පැවසූහ. අධිකාරියේ සේවකයන්ගේ ආහාර වියදම සම්බන්ධයෙන් මීට පෙර ලබා දී තිබූ නිර්දේශ ද තවමත් ක්‍රියාත්මක වී නොමැති බව කාරක සභාව මෙහිදී පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ එහි වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක්විය.