former-foreign-service-commission-chairman-mohamed-hilmi-remanded-for-passing-tenders-to-friends

 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු වැඩසටහනක් සඳහා අනුමත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ආයතනයක් තෝරා ගැනීමට බලපෑම් කිරීමේ චෝදනාව මත එම කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා දෙසැම්බර් මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ (25) මෙම නියෝගය ලබා දුන්නේය.




සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මොහොමඩ් හිල්මි මහතා අල්ලස් කොමිසම වෙත කැඳවා තිබූ අතර, එහිදී ලබාගත් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 2024 වසරේ ජනවාරි මාසයේදී කාර්යාංශයේ නිලධාරීන්ට බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා නිසි ප්‍රසම්පාදන අංශයක් තිබියදීත් මානව සම්පත් අංශය හරහා කටයුතු කරමින් 'ජේ.එස්.එෆ්. හොල්ඩින්' නම් සමාගම තෝරා ගන්නා ලෙස සැකකරු විසින් නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයාට බලපෑම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ටෙන්ඩරය සඳහා ලංසු භාරගැනීමේ කාලය අවසන් වූ පසුව අදාළ සමාගම ලංසු ඉදිරිපත් කර ඇති බැවින් ලංසු භාරගැනීමේ කමිටුව විසින් එය ප්‍රතික්ෂේප කර තිබියදීත්, එම ලංසුව නැවත භාරගන්නා ලෙස සැකකරු විසින් කමිටු නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය. සැකකරු මෙම සිද්ධිය හරහා පෞද්ගලිකව අල්ලසක් ලබා ගෙන ඇති බවට කරුණු හෙළිවී නොමැති බැවින්, ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ වරදක් කිරීමට ආධාර අනුබල දීම යටතේ චෝදනා ගොනු කර ඇති බව නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.




විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් සහ සැකකරු ඇප මත මුදා හැරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බව පවසමින් අල්ලස් කොමිසම ඇප ලබා දීමට විරෝධය පළ කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, තම සේවාදායකයා විමර්ශන සඳහා පූර්ණ සහාය ලබා දුන් බවත්, ඔහුට මෙයින් කිසිදු මූල්‍ය ලාභයක් ලැබී නොමැති බවත් පෙන්වා දුන්නේය. එසේම සැකකරු 2019 වසරේ සිට රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ පොදු දේපළ පනත යටතේ කරුණු වාර්තා කර ඇති බැවින්, සැකකරුට ඇප ලබා දීම සඳහා පනතේ අපේක්ෂිත 'සුවිශේෂී කරුණු' විත්තිය විසින් ප්‍රමාණවත් පරිදි ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 09 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.