government-actions-in-the-face-of-natural-disasters

 දිවයින පුරා බලපැවැත්වෙන අයහපත් කාලගුණික තත්ත්වය සහ ඉන් ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ විශේෂ සාකච්ඡා මාලාවක් අද පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරම්භ වී තිබේ.



ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා කඩිනම් තීන්දු තීරණ ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස ජනාධිපතිවරයා විසින් සියලුම පක්ෂ නායකයින්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී අනාවරණය කළේය.




මීට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සිට මාර්ගගත ක්‍රමය (Zoom) ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ කිසිදු බාධාවකින් තොරව ඉතා කාර්යක්ෂමව ආපදා සහන සේවා ක්‍රියාත්මක කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වහාම ඉල්ලා සිටින ලෙසත්ය.

ආපදා සහන සේවා කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් රජය මේ වන විටත් රුපියල් මිලියන 1200ක (බිලියන 1.2) මුදලක් වෙන් කර ඇති අතර, මීට අමතරව හදිසි අවශ්‍යතා සඳහා භාවිත කිරීමට 2025 අයවැය මගින් තවත් රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර ඇති බව ද මෙහිදී සඳහන් කෙරිණි.




රට තුළ උද්ගතව ඇති මෙම දැඩි ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළ අතර, ආපදා සහන සේවා කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සහාය වීමට සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

තවද, ආරක්ෂිත පියවරක් ලෙස ජල ගැලීම් පවතින ප්‍රදේශවල විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති අතර, පවතින අයහපත් කාලගුණික වාතාවරණය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කටයුතු ද අද (28) දහවල් 12.30ට අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබේ.