fake-sanath-offers-bribe

 ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතාගේ නම අවභාවිත කරමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (12) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.



සැකකරු විසින් සනත් අබේසේකර මහතාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔහු මෙම ව්‍යාජ ගිණුම හරහා විවිධ නිළියන් හා සම්බන්ධ වෙමින්, ඔවුන්ට චිත්‍රපටවල රඟපෑම සඳහා අවස්ථාවන් ලබා දිය හැකි බව පවසා රවටා ඇති බවත්,


ඊට ප්‍රතිඋපකාර ලෙස මුදල් මෙන්ම ලිංගික අල්ලස් ද ඉල්ලා ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

තමන්ගේ නම භාවිත කරමින් සිදුකෙරෙන මෙම අකටයුත්ත පිළිබඳව දැනගත් වහාම සනත් අබේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු එළඹෙන නොවැම්බර් මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.