facts-about-the-underworld-atm-card-network-revealed-in-court

 රක්ෂිත බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සිය නියෝජිතයන් සහ අනුගාමිකයන් යොදවා බන්ධනාගාරයේ සිටම සිය ජාවාරම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා වෙත දන්වා සිටියේය.

බන්ධනාගාරගත සැකකරුවන්ගේ බැංකු ගිණුම් මෙහෙයවීම, ඒ.ටී.එම්. කාඩ්පත් භාවිත කිරීම සහ මූල්‍ය ගනුදෙනු පාලනය කිරීම ඇතුළු සම්පූර්ණ ජාලයම මෙහෙයවනු ලබන්නේ මෙම පිටත සිටින නියෝජිතයන් විසින් බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

මෙම කරුණු අනාවරණය වූයේ, බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකුට අයත් ඒ.ටී.එම්. කාඩ්පත් හතක් සිය භාරයේ තබාගෙන රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු කළ බව කියන සැකකරුවකු සම්බන්ධ නඩුවක් කැඳවූ අවස්ථාවේදීය. රහස් පොලිසිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙලෙස පිටත සිට ජාවාරම මෙහෙයවන පුද්ගලයන් නඩුවල සාක්ෂිවලට බලපෑම් කරමින් පුද්ගල ඝාතන පවා සිදු කරන බවයි.


පසුගිය 04 වැනිදා අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීම ද එවැනි ක්‍රියාවලියක එක් ප්‍රතිඵලයක් ලෙස විමර්ශකයෝ අධිකරණයට පෙන්වා දුන්හ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේ, පසුගිය මැයි මස 4 වැනි දින බෙලරූස් රාජ්‍යයේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ, ‘ලොකු පැටී’ නොහොත් ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාතාල කල්ලි සාමාජිකයාට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ගන්දර ප්‍රදේශයේ කපුවකු වන දිනේෂ් කුමාර සහ අන්සතු ඒ.ටී.එම්. කාඩ්පත් භාවිත කළ බව කියන සඳුන් කුමාර යන සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදීය.

‘ලොකු පැටී’ නැමැති සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට තාක්ෂණය ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ වූ අතර, දිනේෂ් කුමාර සහ සඳුන් කුමාර යන අනෙක් සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.


එහිදී රහස් පොලිසිය කියා සිටියේ සඳුන් කුමාර නැමැති තෙවැනි සැකකරු අන්සතු ඒ.ටී.එම්. කාඩ්පත් හතක් සමඟ අත්අඩංගුවට ගත් බවයි. දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින ජාවාරම්කරුවන්ට අයත් මෙම කාඩ්පත් මගින්, විදේශගතව සිටින 'මහදොඹේ ශාන්' නැමැත්තාගේ ගිණුම්වලට මෙන්ම තවත් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට මුදල් හුවමාරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඊට අමතරව, ගාල්ල ප්‍රදේශයේ රන් ආභරණ අලෙවිසැලක නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුමකට මෑතකදී රුපියල් කෝටි දෙකක මුදලක් බැර කර ඇති බවත්, එම අලෙවිසලේ අධ්‍යක්ෂවරයාගෙන් නුදුරේදීම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

අදාළ ඒ.ටී.එම්. කාඩ්පත් හිමි බන්ධනාගාරගත සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ද රහස් පොලිසිය මෙහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. තවද, වසර හතරක් තුළ රුපියල් කෝටි 33ක මුදලක් ගිණුම් තුනක් ඔස්සේ සංසරණය කරමින් කළු සල්ලි සුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකාර කපු මහතාගේ ගිණුම්වලට මෑතකදී ද මුදල් හුවමාරු වී ඇති බැවින් ඔහුට ඇප ලබා නොදෙන ලෙස විමර්ශන අංශ ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, සැකකාර කපු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටෙනී ප්‍රනාන්දු මහතා කියා සිටියේ, සිය සේවාදායකයා මාසයකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත්,

ඔහුට අදාළ බැංකු වාර්තා සහ සාක්ෂි දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් සාක්ෂිවලට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බවත් පවසමින් ඇප ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා, කපු මහතාගේ ගිණුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අන්සතු බැංකු කාඩ්පත් සන්තකයේ තබාගත් බව කියන අනෙක් සැකකරු (සඳුන් කුමාර) සම්බන්ධයෙන් පූර්ණ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, බන්ධනාගාරගත රැඳවියන්ගෙන් මෙම මූල්‍ය ගනුදෙනු පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට ද රහස් පොලිසියට අවසර ලබා දුන්නේය. අනතුරුව සැකකරුවන් තිදෙනා ලබන 21 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.