පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකට අසැබි සහ නුසුදුසු වචන භාවිත කරමින් කතා කර ඇති බවට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා චෝදනා කර සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, මාධ්‍යවේදිනියන් හෝ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකාවක පාර්ලිමේන්තුව තුළදී කිසිදු ආකාරයක වාචික හෝ ලිංගික හිංසනයකට ලක් නොවිය යුතු බව හෙතෙම දැඩිව අවධාරණය කළේය.
තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියට අතිශය නුසුදුසු හා අසැබි ආකාරයෙන් කතා කළ බවට පාර්ලිමේන්තුව ඇතුළතින්ම තමාට තොරතුරු වාර්තා වූ බව මන්ත්‍රීවරයා පැවසීය. මොහු මීට පෙර අධ්‍යාපනයට අදාළ වගකීම් දැරූ අයෙකු බවත්, සභා ගැබ තුළ විවිධ කරුණු සම්බන්ධයෙන් ඉතා ආචාරශීලීව කතා කරන නමුත් ඉන් පිටතට පැමිණ දක්ෂ තරුණ මාධ්‍යවේදිනියකට එරෙහිව මෙලෙස නින්දිත ලෙස හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
අදාළ මාධ්‍යවේදිනිය එම වාචික හුවමාරුවට තමන් කැමැත්තක් නොදක්වන බවත් ඊට සම්බන්ධ වීමට අකමැති බවත් නැවත නැවතත් පැහැදිලි කර තිබියදීත්, ඇය දිගින් දිගටම මෙම පීඩාවට ලක්ව ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙය ඉතා බරපතල කරුණක් බව පෙන්වා දුන් අජිත් පී. පෙරේරා මහතා, පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන්ට වගකීමක් ඇති බවත්,
තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ මෙම බරපතල සහ නින්දිත ක්‍රියාව තමන් දැඩිව හෙළා දකින බවත් කියා සිටියේය.
රජය මගින් බලගන්වා ඇති පුද්ගලයන් තමන් සමඟ සමීපව කටයුතු කළ ප්‍රසිද්ධ සහ දක්ෂ මාධ්‍යවේදිනියකට මෙලෙස සැලකීම බරපතල විෂමාචාරයක් බවත්, එය බරපතල වරදක් ලෙස සලකන බවත් හෙතෙම පැවසීය. එබැවින් අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනය පියවර ගැනීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවත්, අවශ්‍ය නම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වුවද නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval