court-orders-that-gota-kamal-cd-ulugetenna-prasanna-do-not-have-addresses-and-to-provide-correct-addresses

 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ඉහළ පෙළේ රාජ්‍ය සහ ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් දැනට ස්ථිරව පදිංචිව සිටින නිවැරදි ලිපිනයන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) නියෝග කළේය.

ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ හිටපු ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ ලිපිනයන් සම්බන්ධයෙනි.




පසුගිය අරගල සමයේදී හිටපු මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට එල්ල වූ ප්‍රහාරවලින් සිදු වූ අලාභහානි සඳහා වන්දි ගෙවීමේදී බරපතල අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් ආචාර්ය නීතිඥ රවින්දනාත් දාබරේ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. අරගල සමයේ දේපළ හානි සඳහා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි සහ විනිවිදභාවයකින් තොරව සිදු වී ඇති බැවින් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වැරදි ලෙස වන්දි ලබා දී ඇත්නම් ඒවා නැවත අය කරගන්නා ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.




පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට පෙන්වා දුන්නේ ඇතැම් වගඋත්තරකරුවන්ගේ නිවැරදි ලිපිනයන් පෙත්සම්කරු විසින් ලබා දී නොමැති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී පෙරේරා මහතා සඳහන් කළේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා තොරතුරු සොයා බලා අදාළ ලිපිනයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. කරුණු සලකා බැලූ අධිකරණය අදාළ නිවැරදි ලිපිනයන් මෝසමක් මාර්ගයෙන් ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ අතර පෙත්සම ලබන ජනවාරි 28 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.