ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථවල ප්‍රවේශ පත්‍ර සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය මෙම මාසය අවසන් වීමට පෙර හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම කරුණ අනාවරණය කළේ ඊයේ (11) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. ඔහු මේ බව සඳහන් කළේ, තිළිණ සමරකෝන් මන්ත්‍රීවරයා විසින් ලංගම බස් රථ සම්බන්ධයෙන් යොමු කරන ලද විමසීමකට පිළිතුරු ලබා දෙන අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ, ලංගම ඩිපෝ 107 න් සැලකිය යුතු ප්‍රමාණයක බස් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි. මෑත කාලය තුළ බස් රථ 173 ක් අලුත්වැඩියා කර නැවත සේවයට යොදවා ඇති අතර, 2026 වසරේ මැයි මාසයට පෙර සියලු අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, එළඹෙන ජුනි මාසයේදී මෙරටට මෙට්‍රෝ බස් සේවාවක් හඳුන්වා දීමට නියමිත බවත්, ඊට අදාළ සේවක බඳවා ගැනීම් එම සේවාව ආරම්භ කිරීමට පෙර සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලංගම ආයතනය මුහුණ දෙන ගැටලු පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඇතැම් ඩිපෝවලට අමතර කොටස් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, සමහර ඩිපෝ අමතර කොටස් වෙළඳසැල්වලට ණය වී ඇති බවත් පැවසීය.
පසුගිය කාලය තුළ අමතර කොටස් සැපයූ බොහෝ දෙනා ඉතා බාල වර්ගයේ කොටස් ලබා දී ඇති බවත්, අවංකව, නිවැරදි ආකාරයෙන් අමතර කොටස් සපයන පුද්ගලයින් සිටින්නේ ඉතා ස්වල්පයක් බවත් ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, මෙවැනි වංචා දූෂණ නැති කරමින් ලංගම ආයතනය යළි ගොඩගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval