
ජාතික ජන බලවේගය රජයේ දෙවැනි අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 2026 වසර සඳහා වන මෙම අයවැය ලේඛනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද මේ වන විට හිමිව ඇත.
ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය හෙට (08) සෙනසුරාදා දින සිට ආරම්භ වීමට නියමිතය. ඒ අනුව අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය හෙට සිට ලබන 14 වැනිදා දක්වා දින 06 ක් පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වේ. අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා දින 17 ක් පුරා පැවැත්වෙනු ඇත. අයවැය තෙවනවර කියැවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා පස්වරු 6.00 ට සිදු කිරීමට සැළසුම් කර තිබේ.
මෙම විවාද කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනයන් ද ඇතුළුව සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. කාරක සභා අවස්ථාවේ විවාද කාලය තුළ සඳුදා දිනවල පෙරවරු 9.30 ටත්, අන් සෑම දිනකම පෙරවරු 9.00 ටත් පාර්ලිමේන්තුව රැස්වේ.
2026 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, දේශීය හා විදේශීය වශයෙන් ලබා ගත හැකි උපරිම ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,800 කි. ඉදිරි මුදල් වර්ෂය තුළ රජය අපේක්ෂා කරන ආදායම රුපියල් කෝටි 65,000 ක් බව සදහන් වේ.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව වැඩිම මුදලක් වෙන්ව ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එම අගය රුපියල් බිලියන 634 කි. ඊට අමතරව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 618 ක් ද, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 596 ක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554 ක් සහ ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 455 ක් වශයෙන් මුදල් වෙන් කර ඇත. 2025 වසරේ රුපියල් බිලියන 2.7 ක් වූ ජනාධිපති වැය ශීර්ෂය, 2026 වසර සඳහා රුපියල් බිලියන 11 ක් දක්වා බිලියන 8 කින් පමණ වැඩි කර තිබීම ද විශේෂත්වයකි.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලුම රජයේ සේවකයන්ට 30% ක වැටුප් වැඩිවීමක් සහ විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම ඇතුළු සහන රැසක් මෙම අයවැයෙන් යෝජනා කිරීමට නියමිතය. මෙම යෝජනා දෙක සඳහා රුපියල් කෝටි 13,000 ක අමතර ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, 2027 වසරේදී තවත් 30% ක වැටුප් වැඩිවීමක් ලබා දීමට ද යෝජනා කෙරෙනු ඇත.
අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම සඳහා රුපියල් කෝටි 24,000 ක මුදලක් වෙන් කර ඇති අතර, වතු කම්කරුවන්ගේ සහ පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැංවීමට ද යෝජනා වී තිබේ. වාහන සඳහා බදු ඉහළ නැංවීමක් සිදු නොවන නමුත් පාවිච්චි කළ වාහන ගෙන්වීමේ යෝජනාව ඉවත් කර ඇති බවත්, අපනයන දිරිගැන්වීම සඳහා විශේෂ සහන රැසක් අයවැයට ඇතුළත් බවත් වාර්තා වේ.
අයවැය කතාව දැනගැනීමට ගොසිප් ලංකා නිවුස් සමග රැඳී සිටින්න
Comments
Post a Comment
Your comment will be visible after approval