bodies-of-two-sri-lankans-found-in-fish-tank-in-korea

 දකුණු කොරියාවේ, ගෝසෝංග් ප්‍රාන්තයේ පිහිටි මත්ස්‍ය ගොවිපොළක ජල ටැංකියක තිබී පුද්ගල මළ සිරුරු තුනක් හමුවී ඇති අතර, ඉන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයන් බව එරට මාධ්‍ය වාර්තා කරයි. මියගිය අනෙක් පුද්ගලයා පනස් ගණන්වල පසුවූ දකුණු කොරියානු ජාතික වැඩ පරීක්ෂකවරයෙකි. මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වයස අවුරුදු විසි ගණන්වල පසුවන්නන් බව මත්ස්‍ය ගොවිපොළ පිහිටි දකුණු ජ්යොන්ග්සොන්ග් නුවර පොලීසිය තහවුරු කර තිබේ.



මෙම මළ සිරුරු පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත්තේ පසුගිය ඉරිදා රාත්‍රී 8.30 ට පමණ අදාළ ගොවිපොළ පරිශ්‍රයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීය.


මියගිය කොරියානු ජාතික වැඩ පරීක්ෂකවරයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය මෙම සෝදිසි කිරීම් ආරම්භ කර ඇත.

මළ සිරුරු හමුවී ඇත්තේ මත්ස්‍ය පැටවුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොවිපොළට ජලය සැපයීම සඳහා ජලාශයක් ලෙස භාවිත කළ ටැංකියක තිබියදීය. මීටර් 4ක් පළල, මීටර් 3ක් දිග සහ මීටර් 2ක් ගැඹුරු මෙම ජල ටැංකිය, සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තිබූ බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මෙම මරණ සිදුවූ ආකාරය මෙතෙක් නිශ්චිතව හෙළිවී නොමැති අතර, එය අභිරහසක්ව පවතී. ඔවුන් ජල ටැංකිය පිරිසිදු කරමින් සිටියදී යම් අනතුරකට ලක්වීද යන්න ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව දකුණු කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

gossiplanka image 2



gossiplanka image 3
gossiplanka image 4