drunk-father-sets-house-on-fire-along-with-daughters-al-books

 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර, තම දියණියගේ විභාග උපකරණ, පොත්පත් සහ ඇඳුම් ඇතුළු මුළු නිවසටම ගිනි තැබූ පියෙකු බලන්ගොඩ, සමනලවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගිනි තැබීම පෙරේදා (09) දින රාත්‍රියේ සිදුවී ඇති අතර, සැකකාර පියා ඊයේ (10) දින අත්අඩංගුවට පත්ව ඇත.

බලන්ගොඩ, සමනලවැව පොලිස් වසමට අයත් සීලගම, ගිල්ම ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ගිනි තැබීම හේතුවෙන්, ඊයේ දින ඇරඹුණු උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පෙනී සිටින සිසුවිය දැඩි අපහසුතාවයකට පත්ව ඇත.




සිද්ධිය වන අවස්ථාවේදී අදාළ සිසුවිය හෝ ඇයගේ මව නිවසේ රැඳී සිට නොමැති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ. සැකකාර පියා 09 වැනිදා පස්වරුවේ බීමතින් නිවසට පැමිණ අඬදබර කිරීම හේතුවෙන්, ඔහුට බිය වූ මව සහ දියණිය රාත්‍රිය ගත කිරීම සඳහා අසල්වැසි ඥාති නිවසකට ගොස් ඇත. එම අවස්ථාවේදී සිසුවිය රැගෙන ගොස් ඇත්තේ ඇයගේ විභාග ප්‍රවේශ පත්‍රය, එක් ඇඳුමක් සහ පොත් කිහිපයක් පමණක් වන අතර, ඇයගේ අනෙකුත් සියලුම අධ්‍යාපනික උපකරණ සහ ඇඳුම් පැළඳුම් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

සැකකරු නිතර බීමතින් පැමිණ කලහකාරී ලෙස හැසිරෙන අයෙකු බවත්, 09 වැනිදා දහවල් ඔහු අඬදබර කරන අවස්ථාවේ පොලීසියට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති බවත් වාර්තා වේ. කෙසේ වෙතත්, සැමියා බීමතින් නිදා සිටින බැවින් මේ වන විට ගැටලුවක් නොමැති බවට බිරිඳ විසින් පොලිස් නිලධාරීන්ට දැනුම් දීම නිසා ඔවුන් ආපසු ගොස් තිබේ.




පසුව 09 වැනිදා රාත්‍රී දහයට පමණ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව, නිවස ගිනි ගනිමින් තිබියදී පොලිස් නිලධාරීන් නැවත එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. වඩු කාර්මිකයෙකු ලෙස සේවය කරන සැකකාර නිවෙස් හිමියා, ඊයේ (10) දින සමනලවැව පොලීසියට පැමිණ, සිය නිවසට කිසිවෙකු විසින් ගිනි තබන ලද බවට මුලින් පැමිණිල්ලක් කර තිබේ. කෙසේ වෙතත්, පොලීසිය සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ, බීමතින් සිටි තමන් විසින්ම නිවසට ගිනි තැබූ බවට ඔහු පසුව පාපොච්චාරණය කර ඇත.

මෙම බාධක මධ්‍යයේ වුවද, අදාළ සිසුවිය ඊයේ (10) දිනට නියමිතව තිබූ උසස් පෙළ කලා අංශයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටි බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සමනලවැව පොලීසිය සහ රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණ (සොකෝ) ඒකකය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.