njp-municipal-councillor-resigns-principals-husband-within-a-week

මත්ද්‍රව්‍ය චෝදනා මත තම ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය මුල් කරගනිමින් ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභා මන්ත්‍රී දිස්නා නිරන්ජලා කුමාරි මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. හෙරොයින් කිලෝ ග්‍රෑම් එකකට අධික තොගයක් සමඟ පසුගියදා අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී ඇයගේ සැමියා වන විදුහල්පතිවරයා සහ තවත් අයෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.



වත්මන් ආණ්ඩුව රටේ මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති මොහොතක සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් පුද්ගලිකව දැඩි කම්පනයට පත්ව සිටින බව මන්ත්‍රීවරිය සඳහන් කරයි.


රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ජාතික ජන බලවේගය ගෙන යන වැඩපිළිවෙළට සහයක් ලෙසත්, අදාළ නීතිමය කටයුතු සඳහා සහාය දීමක් ලෙසත් සලකා තමන් මෙම ඉල්ලා අස්වීමේ තීරණය ගත් බව ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දැනුම් දී ඇත. එම ලිපිය මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර, එහි පිටපතක් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාටද යොමු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පති ජයන්ත බාලසූරිය සහ එච්.ඒ. තරිඳු ධනංජය වික්‍රමසිංහ යන අය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී ඇත. එප්පාවල ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 184ක් සොයාගත් බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.


සැකකරුවන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය අදාළ ආයතන වෙත නියෝග නිකුත් කළාය.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ විමර්ශන ක්‍රියාත්මක බැවින් දැනට මේ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, වත්මන් රජය යටතේ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ඔහු අවධාරණය කළේය. අත්අඩංගුවට පත් සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ වන අදාළ මන්ත්‍රීවරිය, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බවටද පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.