kinniya-town-completely-submerged-after-mavil-aru-dam-breach-121-rescued

 මාවිල්ආරු වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ජලයෙන් කොටු වී සිටින ජනතාව මුදා ගැනීමේ පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.
හෙලිකොප්ටර යානා 4 ක් ඒ පෙදෙසට යොමු කර ඇති අතර
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ තොරතුරුවලට අනුව, ක්‍රියාත්මක කර ඇති ගුවන් මෙහෙයුම් හරහා මේ වන විට පුද්ගලයින් 121 දෙනෙකුගේ ජීවිත ආරක්ෂිතව බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ.



කින්නියා නගරය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර, ජල මට්ටම ඉහළ යාම නිසා ඇතැම් පිරිස් ගස් උඩ නැග රැඳී සිටින බවත්, ඔවුන් කඩිනමින් මුදා ගැනීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

මූතූර් සහ නීලපොළ යන ප්‍රදේශවල පදිංචිව සිටි ජනතාව ඊයේ (29) රාත්‍රියේම එම ස්ථානවලින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණු බව ද මෙම ආපදා තත්ත්වය පිළිබඳ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.




ජල ගැලීම්වලින් දැඩි බලපෑම් එල්ල වී ඇති සෝමපුර, සිරිමංගලපුර, කල්යාර් සහ දෙහිවත්ත යන ප්‍රදේශවල ජනතාව ගුවන් මගින් සේරුනුවර නවෝද්‍යා පාසල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් වැඩිදුර ආරක්ෂාව සඳහා සේරුවාවිල රජමහා විහාරස්ථානයේ තාවකාලිකව රඳවා තැබීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

මේ අතර තංගවේලී ගම්මානයේ පුද්ගලයින් දහසක පමණ පිරිසක් ආපදාවට ලක්ව සිටින බවත්, ඔවුන්ව ඉතා ඉක්මනින් බේරා ගැනීමට කටයුතු කරන ලෙසත් මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයා වෙත දුරකථනයෙන් දැනුම් දී තිබේ.

gossiplanka image 2