වසර ගණනාවක් තිස්සේ අලුත් වාහනයක් ගන්න බැරිව සිටි සල්ලිකාරයින් වාහන ආනයනය නීත්‍යානුකූලව ඇරඹූ වෙලාවේ සිට අතදිගහැර වාහන සඳහා වියදම් කර තිබෙන බව අලුත්ම වාර්තා වලින් පෙනී යයි. ඉහළ බදු අගයන් හෝ වෙනත් අවාසි ආදිය එතරම් තැකීමක් නොකර තමන්ට මිලදී ගැනීමේ හැකියාව ඇති බොහෝ දෙනෙකුම ඉස්තරම් වර්ගයේ වාහන අදික මිලට තමන් සතු කරගන්නට පසුගිය කාලයේ රැල්ලක් මෙක් කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකා රේගුව පවසන්නේ වත්මන් වසරේ ගතවූ පළමු මාස දහය තුළ මෙරටට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 250,000ක් පමණ වන බවයි. එම ආනයන වෙනුවෙන් රේගුව උපයා ඇති බදු ආදායම රුපියල් කෝටි 63,000ක් ලෙස සටහන් වේ. පසුගිය වසරේ අදාළ කාල සීමාව හා සැසඳීමේදී, මෙය සියයට 1000 ඉක්මවූ දැවැන්ත වර්ධනයක් බවද රේගුව පෙන්වා දෙයි.
නවතම දත්ත වාර්තා වලට අනුව,
වසරේ පළමු මාස නවය ඇතුළත වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 36,431ක්) වේ. මෙම කාලය තුළ වාහන ආනයනය උදෙසා වැඩිම වියදමක් දරා ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී වන අතර, එම මාසයේදී වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 286කි (රුපියල් කෝටි 8,682ක් පමණ). මෙම ආනයන වියදම් දත්ත සඳහා පෞද්ගලික මෙන්ම වාණිජ කාණ්ඩවල වාහන ආනයනයට දැරූ පිරිවැයද ඇතුළත් බව වාර්තා පෙන්වා දෙයි.
මහ බැංකු දත්ත විශ්ලේෂණයේදී, අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 134ක්, මැයි මාසයේදී ඩොලර් මිලියන 118ක්, ජූනි මාසයේදී ඩොලර් මිලියන 163ක්, ජූලි මාසයේදී ඩොලර් මිලියන 193ක් සහ අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 249ක් ලෙස වාහන ආනයනය සඳහා අඛණ්ඩව විදේශ විනිමය වැය කර ඇති ආකාරය දැකගත හැක.
ඊටත් පෙර, වසරේ පළමු කාර්තුව (ජනවාරි සිට මාර්තු) තුළ වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 61ක් ලෙස සටහන්ව තිබිණි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ, වාහන ආනයන සීමා ඉවත් කිරීමේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආනයනයක් අපේක්ෂා කළද, වත්මන් තත්ත්වය යටතේ එය ඩොලර් බිලියන 1.5ක (රුපියල් කෝටි 45,500ක් පමණ) සීමාව පහසුවෙන් ඉක්මවා යනු ඇති බවයි. එම අපේක්ෂාව අනුව, වසරේ අවසන් මාස හතර තුළදී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 582ක වාහන ආනයනයක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.
රජයේ ආදායම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වීම සඳහා වාහන ආනයනයෙන් ලැබුණු බදු ආදායම ප්‍රධාන සාධකයක් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද මෑතකදී පෙන්වා දී තිබිණි. කෙසේවෙතත්, වසර පහක පමණ කාලයක් පුරා ගොඩගැසී තිබූ වාහන සඳහා වූ ඉල්ලුම ක්‍රමයෙන් සපුරාලීමත් සමග, ඉදිරියේදී මෙම ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයකට පත්වනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval